Wednesday, May 21, 2025

General line - 0115112241

දළදා ප්‍රදර්ශනය සඳහා විශේෂ ආරක්‍ෂක සහ රථවාහන සැලැස්මක්



හෙට සිට ආරම්භ වන සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ සියලු කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. 

ඊයේ පස්වරුවේ සිටම බැතිමතුන් මහනුවරට පැමිණීම හේතුවෙන් හෙට සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පොදු සේවා ඊයේ රාත්‍රියේ සිටම ආරම්භ කිරීමටයි සිදුව ඇත්තේ. 

පොලීසියේ අනුමානයන්ට අනුව සිරි දළදා වන්දනාව සඳහා ලක්ෂ 20කට අධික දෙස් විදෙස් බැතිමතුන් පැමිණෙනු ඇති බවට අපේක්‍ෂා කෙරෙනවා.  

ඒ අනුව මෙම කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේ සහ දළදා මාළිගාව අවට පරිශ්‍රත්‍ය් ආරක්‍ෂාව මෙන්ම පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය සැලසුම් කර ඇත්තේ. 

ඒ යටතේ මහජනතාව සෝදිසි කිරීම, රථවාහන පාලනය සහ මාර්ග බාධක රාජකාරියේ යෙදවීම සිදු කරනු ඇති. 

ඒ සඳහා විශේෂ නිලධාරීන් 35 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ. 

මහනුවර නගරයට රථවාහන ඇතුලුවීම අද සිට සීමා කරන බව ද පොලීසිය පවසනවා. 

බැතිමතුන්ගේ පැමිණීම හේතුවෙන් මහනුවර නගරය තුළ අනවශ්‍ය රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවයි පොලීසිය සඳහන් කළේ. 

එබැවින් රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මහනුවර නගරයට ඇතුලුවන රථවාහන අද සිට සීමා කිරීමට පොලීසිය සීමා කර තිබෙනවා. 

එහි සම්පූර්ණ විස්තරය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්. 

මේ අතර මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා සහන ගාස්තු යටතේ විශේෂ බස් රථ සේවාද ක්‍රියාත්මක කර තිබෙනවා. 

බැතිමතුන් පැමිණෙන වාහන ගාල් කර තැබීම සඳහා වෙනම ස්ථාන වෙන් කර ඇති අතර එම ස්ථානවල සිටයි මෙම බස්රථ සේවා ක්‍රියාත්මක වන්නේ. 

දෛනික අවශ්‍යතා සඳහා මහනුවර නගරය වෙත පැමිණෙන මහජනතාවගේ වාහන නගරයේ නවතා තැබීමටද අවසර හිමි වන්නේ නැහැ. 

එම වාහන නවතා තැබීමටද විශේෂ රථ ගාල් වෙන් කර තිබෙනවා. 

ස්ථාන 14ක මාර්ග බාධක යෙදවීමටයි දැනටමත් පියවර ගෙන ඇත්තේ. 

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයට මේ වන විටත් බැතිමතුන් පැමිණෙමින් සිටිනවා. 

මහනුවර නගරයේ නවතම තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව එහි රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්. 

සිරි දළදා වන්දනාව ආරම්භ වන්නේ හෙට පස්වරු 03යි 30ටයි. 

එදින පස්වරු 05යි 30 දක්වා දළදා වහන්සේ වන්දනා කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා. 

ඉන් අනතුරුව අනිද්දා සිට ලබන 27 වනදා දක්වා සෑම දිනකම දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා සිරි දළදා වන්දනාව මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.  
 

Media on 2025.04.16 at 1810 hrs“සිරි දළදා වන්දනාව”ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම by nethsound on Scribd