කොළඹ දිසා අධිකරණය හමුවේ ඇතිකර ගත් එකගතාවය අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුකරයක් අවසන් කිරීමට අභියාචනාධිකරණය අද තින්දු කළා.
එමෙන්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වගඋත්තර කාර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නිකුත් කළ චෝදනා ආපසු කැඳවීමටත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
පෙත්සම්කරු විසින් එම නියෝග ලබාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා. .
ඉන් අනතුරුව අදාල නඩුකරයේ විභාග කටයුතු අවසන් කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කළා.
ඉකුත් නඩු දිනයේ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් තම සේවා දායකයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුකරය පිළිබඳ නොතිසි ලබාගෙන තිබෙන්නේ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමෙන් බව සඳහන් කර තිබුණා.
ශ්‍රී ලංකා රක්බි නිලවරණය පැවතීම සඳහා අවශ්‍ය කරන නිලවරණ කමිටුව පත් කරන බව පමණක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබූ බවත් ඔහු එම ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.
එබැවින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු අවස්ථාවක අධිකරණයට අපහාසයක් සිදුකර නොමැති බවත් ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉවත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා වැඩිදුරටත් අධිකරණයට ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ භියෝජනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
ක්‍රීඩා සංගම් කිහිපයක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර පෙත්සංකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් මහතා පෙනී සිටියා.