අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
මෙම නඩුකරය මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේයි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15 (2) වගන්තිය ප්‍රකාරව මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධය පළ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
මෙම නඩුව යළි ලබන 28 වනදා කැඳවීමට නියමිතයි.
මෙම නඩුව ගොනු කළ අවස්ථාවේදී මෙම විත්තිකරු අධිකරණය මගහැර පලා ගොස් සිටි අතර පසුව ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.