Saturday, April 20, 2024

General line - 0115112241

පෙත්සමක් නිසා ඉඩම් දුන්නෑ! වැවේ දැන් වතුර ගේ ළඟටම ඇවිත්! ගේ යට වුණත් යන්න තැනක් නෑ! ලක්ෂ 60කුත් දීලා

චම්ලි ඒකනායක /ඉන්දික අරුණ කුමාර




මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිල්ලගහමුල තැන්න 06 කනුව ප‍්‍රදේශයේ පවුල් දෙකකට අයත් පුද්ගලයින් හය දෙනෙක් පදිංචිය සඳහා ඉඩම් නොලැබීම හේතුවෙන් ඉවත් නොවන බව පවසනවා.  ජලාශයට ජලය පිරිමත් සමග අඹන් ගඟේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස් ආසන්නයටම ජලය පිරි තිබෙනවා.

ජලාශයට යටවන මිල්ලගහමුල තැන්න ප‍්‍රදේශයේ පදිංචි පී.ජි. අජිත් කුමාර සෙනවිරත්න කියා සිටියේ ජලය නිවස ආසන්නයට පැමින ඇතැත් නිවසක් සදා ගැනීමට ඉඩමක් තමන්ට ලැබී නොමැති බවයි. සිය ප‍්‍රදේශයේම පිරිසක් පෙත්සමක් මහවැලියට යොමුකිරීම හේතුවෙන් තමන්ට ඉඩමක් අහිමිවූ බවයි.

මේ වන විට ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි කර ඇති බවත් ප‍්‍රදේශයට වන අලි පැමිණීමේ අවධානමක්ද ඇති බවත් ඔවුන් පවසනවා. මෙවැනි අවදානම් තත්ත්වයක් පවතින මොහොතක සිය අසරණ භාවය පිළිබඳ සලකා බලැන්නැයි ඔහු බලධෘරීන්ගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවත් නිවස ජලයෙන් යටවුවහොත් අඹන් ගඟට පැනිම හැර වෙනත් විසඳුමක් නොමැති බව ද ඔහු පැවසුවා.

මෙම නිවාස දෙකෙහි දැනට ඩී.එම්.රම්මැණිකා (85) ඩබ්ලිව්.අයි. ගයනි දීපශිකා (33) පී.ජි. ලලිත් බණ්ඩාර (45) පී.ජි. පමුජිකා විරාජි බණ්ඩාර (05) සහ පි.ජී අජිත් කපිල සෙනෙවිරත්ත, පි.ජී චන්දිමා කුමාරි සෙනෙවිරත්න එම නිවාස දෙකෙහි පදිංචිව සිටිනවා.

 මෙම නිවාස දෙකෙහි ජීවිත්වන පිරිස පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි නාඋල ජන අයිතීන් සුකීමේ සංවිධානයේ කැඳවුම්කරු හා ජනතා විමුක්ති පෙරමුණේ නාඋල සංවිධායක ආර්.ඒ.ඩී. ජයතිලක කියා සිටියේ ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ වෙනත් පිරිසක් භුක්ති විදිද්දි ජලාශයට ඉඩම් දන්දුන් පිරිසක් අසරණ වී ඇති බවයි.

‘‘අද වෙනකොට මහවැලි ඇමතිතුමා වෙලා ඉන්නේ ජනාධිපතිතුමා. එතුමගේ බලාපොරොත්තු අද ඉටුවෙලා තියෙනවා. මේ ප‍්‍රදේශයේ ජනතාවගේ සුභ සිද්ධියට අපි නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය හදලා මේ ගැටළු වලට මැදිහත් වුනා.
මේ අඹන්ගඟ අද උතුරලා යනවා මේ ගෙට තව තියෙන්නේ මීටර් දහයක පමණ දුරක් විතරයි ජලය එන්න. මේ ගෙවල් දෙකේ පවුල්වල සාමාජිකයෝ හයක් ඉන්නවා මේ වෙනකම් බලධාරීන් මේ තත්ත්වය තුට්ටුවකට ගනන් අරන් නැහැ. මේ ව්‍යාපෘතිය ජනතාවාදී ව්‍යාපෘතියක් බවට පත්කරන් නම් ජනාධිපතිතුමා ඇතුළු බලධාරින්ට කරන් තිබුනේ ජලාශය හදන්න ඉස්සරලා මේ ජනතාව අයින් කරලා ඉන්න. මේ තියන වැසි තත්ත්වයත් එක්ක අඹන් ගෙඟ් ජලය ඉහළ යනවා. ඒ කියන්නේ මේ ජනතාව අනතුරට ලක්වෙනවා ඒ වගකීම අදාල බලධාරින් අරගන්න  ඕනේ ’’ යැයි ද ඔහු පැවසුවා

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන් කළ විමසීමේදී එහි ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ඉවත්ව නොයන පවුල් දෙක පදිංචිවී සිටින භූමියේ වටිනාකමට රුපියල් ලක්ෂ හැටක වන්දි මුදලක් ගෙවා ඇති බවයි. ඊට අමතරව ඉඩම් ලබාදීම් සම්බන්ධයෙන් පැවති පරික්ෂණ කටයුතු සඳහා එම නිවෙස් වල පදිංචි පවුල් සහභාගී වී නොමැති බවයි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් සිදු නොවන බවත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් සිය ව්‍යාපෘතියේ ඉහල නිලධාරීන් දැන්වත් කරන බව ද එම ඔහු පැවසුවා.

මෙම පවුල් දෙකවෙත නිවාස හා දේපළ තක්සේරුව ලෙස රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් වන්දි වශයෙන් ලැබුණද ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවූ අනෙකුත් පුද්ගලයින්හට ලබාදුන් පවුල්ක් සඳහා වූ ඉඩම් කැබලි දෙක මේ වනතෙක්  ලබා දී නැත.