Wednesday, April 24, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා සමාව අයදියි : ආණ්ඩුවක් ලෙස කිසිවෙකු බඩගින්නේ තබන්න බැහැ




නියගයෙන් පීඩාවට පත්ව සිටින හාර ලක්‍ෂ විසි දෙදහසක් වන ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට පමණක් රජය රුපියල් මිලියන නව දහසක මුදලක් වෙන්කර ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. එම සහන කටයුතු මෙම සතියේ සිට ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. 

එල්ලන්ගා වාරි ප‍්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත කි‍්‍රයාන්විතය යටතේ අනුරාධපුර, මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

කහටගස්දිගිලිය සහ ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශවල නියගයට මුහුණදී සිටින පවුල් අතරේ අඹුසැමි යුවළක් වේල් ගණනක් මුරුංගා කොළ තම්බාගෙන කෑ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

මම මේ ගැන සොයා බලන්න විශේෂ නිලධාරියෙක් මේ ගමට යැව්වා එහි තත්ත්වය සොයා බලන්න කියලා. නමුත් එක දෙයක් කියන්න ඕනේ. මේ විදිහට වෙන්න දෙන්න බැහැ. එක ගමක් ගත්තම ඒ ගමේ ග්‍රාමසේවක වසම් කොයි තරම් ඉන්නවද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තම විවිධ තනතුරුවල කොපමණ දෙනෙක් ඉන්නවද? පළාත් සභාව තියනවා, පාර්ලිමේන්තුව තියනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු සභාපතිවරු ඉන්නවා. මේ සෑම දෙනෙක්ම ගම්වල සිදුවන්නේ කුමක්ද කියලා අවධානයෙන් ඉන්න ඕනේ. මම හරිම කණගාටු වෙනවා මේ ගැන. කන්න බැරි දෙයක් කකා ඉන්න මේ රටේ කොහේ හරි  ගමක සිදුවෙනව නම් ඒක ඛේදවාචකයක්. මේ පුවතත් එක්ක මේකනම් ගම්වල තත්ත්වය ජනාධිපතිවරයා විදිහට මගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරනවා වගේම ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා. මගෙන් පහළ සිටින සැම දෙනාම ඊට වගකියන්න ඕනේ. මේ විදිහට බඩගින්නේ තියන්න ආණ්ඩුවක්හැටියට කටයුතු කරන්න බැහැ යැයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.