Thursday, March 28, 2024

General line - 0115112241

මුලතිව් මුහුදේ වෙනසක් : මුහුදෙන් ගසා ගෙන එන ද්‍රව්‍යයකින් වෙරළ තිරය කළු පැහැ ගැන්වෙයි  (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




මුලතිව් දිස්ත්‍රික්කයේ නායාරූ සිට කෝකිලායි දක්වා මුහුදු තීරයේ මුහුද අද (19) වෙනිදා දහවල් සිට දැඩි වෙනසකට ලක්ව ඇතැයි මුලතිව් ධීවරයෝ ප්‍රකාශ කර සිටිනවා.

මුහුදේ ජලය අදුරු පැහැයක් ගෙන ඇති අතර  ගොඩට ගලා ගෙන එන මුහුදු ජලය වෙරලට පැමිණි පසුව වෙරලේ විශාල වශයෙන් කලු පැහැති තාර වැනි ද්‍රව්‍යයක් ඉතිරි වන බවයි මුලතිව් ධීවරයෝ කියා සිටියේ.මෙසේ තැන්පත් වන ද්‍රව්‍ය නැවත පැමිණෙන මුහුදු ජලය සමග මුසුවී යළිත් මුහුදට නොයන නිසා මුලු මුහුදු වෙරලම මේ වන විට දැඩි කලු පැහැයකින් යුක්ත බව මුලතිව් ධීවරයෝ කියා සිටින්නේ.

කලු පැහැති තාර මෙන් වූ මේ ද්‍රව්‍ය දෙපාවල ගෑවුණු පසුව ඉවත් කිරීමද අසීරු බවත් ඒ ද්‍රව්‍යයෙන් දැඩි දුගධක් හමන බව කී මුලතිව් ධීවරයෝ මේ පිළිබදව ධීවර නිලධාරීන් හා දිසාපති කාර්යාලයේ නිලධාරීන් දැණුවත් කිරීමට පියවර ගන්නා බවද පවසා සිටියා.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මුලතිව් මුහුදේ ජලය අඩි පහකින් පමණ උස් වූ අතර මුහුදු ජලය කලු පැහැති වීමත් සමගම සුනාමී අවධානමක් පැමිණෙනු ඇතැයි යන බිය නිසා මුලතිව් මුහුද අසලම පදිංචි වැසියෝ එම පළාතෙන් ඉවත් විය. කෙසේ වෙතත් ඒ පිළිබදව කොළඹ සිට පැමිණි භූ විශේෂඥයින් හා සාගර විද්‍යාඥයින් පිරිසක්ද පරීක්ෂණ පැවැත් වූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ නිලධාරීන් පිරිසක්ද පරීක්ෂණයක් පැවැත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ පරීක්ෂණ වලින් කියවුණේ මුලතිව් මුහුදේ ස්වභාවය වෙනස් වී ඇති නමුත් එය සුනාමී තත්ත්වයක් නොවන බවයි.