Saturday, April 20, 2024

General line - 0115112241

වාර්තා තවත් ප්‍රමාද වුණොත් දඩ පනවන බව දැනුම් දෙයි

ඩිල්ෂාන් මඩවල/නිශාන් ද සිල්වා




2019 - 2020 මූල්‍ය වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශ නියමිත කාලයේදී ලබාදී ඇත්තේ අපේක්‍ෂිත තැනැත්තන්ගෙන් ආසන්න වශයෙන් සියයට 26 ක් පමණක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මේ පිළිබද කළ විමසීමකදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ තනි පුද්ගලයින් හෝ තනි පුද්ගල ව්‍යාපාර දෙලක්‍ෂ 67,843 දෙනෙකුගෙන් මෙම ප‍්‍රකාශ කැදවූ බවයි. එහෙත් ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ ලබාදී ඇත්තේ තනි පුද්ගලයින් හෝ තනි පුද්ගල ව්‍යාපාර 64,063 දෙනෙකු එනම් ආසන්න වශයෙන් සියයට 25 ක් පමණක් බවද ඔවුන් පැවසුවා. 

සමාගම් 53,577 කින්ද ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ කැදවූ බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ. එහෙත් ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙම ප‍්‍රකාශ ලබාදී ඇත්තේ සමාගම් 21,781 ක් පමණයි. එහි ප‍්‍රතිශතය සියයට 40 ක් වනවා. 

ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශ ලෙස හැදින්වෙන්නේ කිසියම් මූල්‍ය වර්ෂයක් සඳහා අපේක්‍ෂිත සිය ආදායම සහ ගෙවිය යුතු බදු පිළිබඳ තමන් විසින්ම සකස් කර ගනු ලැබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු ලේඛණයයි.

2019 - 2020 මූල්‍ය වර්ෂය සඳහා මෙම ප‍්‍රකාශ ඉකුත් 15 වැනිදාට පෙර භාරදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.

එසේ තිබියදීත් මෙතෙක් මෙම ප‍්‍රකාශ ලබා නොදුන්නේ නම් දැන්වත් ඒවා ලබාදීමට කඩිනම් වන ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. එසේ නොවුනහොත් ප‍්‍රකාශ ලබා නොදෙන්නන්ට දඩවලට යටත්වීමට සිදුවන බවද සිහිපත් කෙරුණා. 

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්, කුඩා හා මධ්‍ය පරිමාණ බදු පරිපාලන එම්. ජේ. ගුණසිරි කියා සිටියේ නීතිය අනුව  වාර්තා නොසැපයීම මත දඩ පැනවීමට සිදුවිය හැකි බවයි.

බදු ගෙවීමකට යටත් නොවන ඇතැම් තැනැත්තන්ටද ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ ලබාදෙන්නැයි ලිපි ලැබී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එවැන්නන් දැක්විය යුතු ප‍්‍රතිචාරය පිළිබදවද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

එවන් අය තමන් මේ බද්ධට යටත් නොවන බව සඳහන් කරමින් අදාළ ප්‍රකාශය එවිය යුතු බවයි සඳහන් කෙරුණේ.

ඇස්තමේන්තුගත ආදායම් ප‍්‍රකාශ නියමිත කාලයේදී ලබා නොදුනහොත් යටත් විය හැකි දඩ පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

ආදායම් බදු ගෙවන්නන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු ඇස්තමේන්තු ගත ආදායම් ප‍්‍රකාශය පිළිබද මෙම නීති සම්පාදනය කෙරුණේ 2017 දේශීය ආදායම් පනතින්.