Wednesday, April 17, 2024

General line - 0115112241

ලංකාවේ සිට පැමිණි ත්‍රස්තවාදීන් 06 දෙනෙක් නිසා තමිල්නාඩුවේ ආරක්ෂාව තර කෙරේ 

දිනුක් හේවාවිතාරණ




ත්‍රස්තවාදීන් 06 දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුල්වී ඇති බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති බවයි "ද හින්දු" වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

පාකිස්ථානයේ ක්‍රියාත්මක ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයට අයත් බව කියන මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා අතර එක් පාකිස්ථාන ජාතිකයෙක් ද වන බවයි තමිල්නාඩු පොලිසිය තමන්ට ලැබී ඇති බුද්ධි තොරතුරු උපුටා දක්වමින් සඳහන් කර සිටින්නේ. මෙම පාකිස්ථාන ජාතිකයා ඉල්ලෙයාස් අන්වර් නමින් හඳුනාගෙන ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයින් බවයි හෙළිවී ඇත්තේ.

ලෂ්කර්-ඊ-තායිබා ත්‍රස්ත සංවිධානය විසින් ඉන්දියාව තුල ප්‍රහාර දියත් කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා එරට බුද්ධි අංශ අනතුරු අඟවා තිබුනා.

මේ හේතුවෙන් චෙන්නායි සහ කොයිම්බතූර් හි ආරක්ෂාව දැඩි කිරීමට තමිල්නාඩු පොලිසිය පියවර ගෙන ඇති අතර සැකකටයුතු පුද්ගලයින් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය විමර්ශන ඒජන්සිය විසින් සිදුකරනු ලැබූ මෙහෙයුම් වලදී පසුගිය මාස කිහිපය තුලදී ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවීම සඳහා පුහුණුව ලැබූ බව කියන පුද්ගලයින් 10 කට අධික පිරිසක් කොයිම්බතූර් ඇතුළු නගර කිහිපයකදී අත්අඩංගුවට ගනු ලැබූවා. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකමක් පැවැත්වූ මොහොමඩ් අසරුඩින් ද ඒ අතර විය.