Thursday, March 28, 2024

General line - 0115112241

සීමිත ඕවර් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පිල සැප්තැම්බර් මස අගදී පාකිස්ථානයට

කසුන් කැලුම්




සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේ අග භාගයේදී පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඊෂාන් මානී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සමග පැවති දුරකථන සංවාදයකින් පසුව මෙම තීරණයට එළැඹ ඇති බව සඳහන්.

ඒ අනුව ලබන සැප්තැම්බර් 25 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට ලඟා වීමට නියමිතව ඇති අතර සැප්තැම්බර් 27, 29 සහ ඔක්තෝම්බර් මස 02 වෙනිදා කරච්චි හිදී එක්දින තරග තුනකට සහභාගී වීමට නියමිතව ඇත. ඉන් පසුව ලාහෝර් හිදී ඔක්තෝම්බර් මස 07 සහ 09 වෙනිදා විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කරනු ඇති.

මෙම ඔක්තෝම්බර් මාසයට පෙර පාකිස්ථානය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලෝක ටෙස්ට් ශුරතාවය සඳහා ටෙස්ට් තරග දෙකක් පැවැත්විය යුතුව තිබු අතර එම තරග ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීම දින වෙන් කර ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිය රටේ ක්‍රීඩා ලෝලීන්ට සජීවී අයුරින් තරග නැරඹීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ ක්‍රීඩකයින්ට පාකිස්ථානයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සිය කෘතවේදය පළකර ඇත. එමෙන්ම තරගාවලියට පෙර එහි ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ද   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.