Thursday, March 28, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වයේ රටේම දක්ෂයින් හෙළි නොකිරීමේ තීරණයක්

නිශාන් ද සිල්වා




මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ජාතික සහ දිස්ත්‍රික් මට්ටමෙන් ඉහළම ප්‍රථිඵල ලැබූ සිසුන්ගේ නම් ප්‍රසිද්ධ නොකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙවර දිවයිනේ පළමු ස්ථානය මෙන්ම දෙවන සහ තුන්වන ස්ථාන ආදී ජයග්‍රහණ ලැබූ සිසුන්ගේ නම් හෙළි නොකරනු ඇති.

එමෙන්ම, දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළම ප්‍රථිඵල ලැබූ සිසුන්ගේ නම් හෙළි නොකිරීමටයි තීරණය කර ඇත්තේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත පැවසුවේ, අනවශ්‍ය තරඟය හරහා දරුවන්ට අසාධාරණයක් සිදු වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි. ඒ අනුව, මින් ඉදිරියට ද මෙලෙසම ශිෂ්‍යත්ව විභාගයෙන් ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ලැබූ සිසුන් ප්‍රකාශයට පත් නොකරනු ඇති. 

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ අවම ලකුණු සීමාව 159 ක්.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවම ලකුණු සීමාව 157 ක් වනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ අවම ලකුණු සීමාව 156 ක්. අනුරාධපුරය, පොලොන්නරුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව 155 ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල එම ලකුණු සංඛ්‍යාව 154 ක් වනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවම ලකුණු සංඛ්‍යාව 153 ක් වන අතර මුලතිව් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සංඛ්‍යාව 147 ක්.