Friday, April 19, 2024

General line - 0115112241

සැමරුම් නවත්වන්නැයි යාපනය සරසවි සිසුන්ට නිවේදනයක් - උතුරේ තැනින් තැන මහවිරු සැමරුම් සඳහා සැරසේ (PHOTOS)

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




යාපනය විශ්ව විද්‍යාල සිසුන් වෙත විශ්ව විද්‍යාල සීමාව තුළ අද (27) දින හා හෙට (28) දින කිසිඳු ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසට විශ්ව විද්‍යාල පාලක සභාව ඊයේ (26) සවස දැනුම් දී  ඇති බව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පවසනවා.

යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ විශ්ව විද්‍යාල පාලක සභාවේ අනුමැතියකින් තොරව කිසිඳු ක්‍රියාකාරකමක් නොකරන ලෙසට විශ්ව විද්‍යාල පාලක සභාව විශ්ව විද්‍යාල සිසුන් වෙත දැනුම් දී ඇති බවයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් මහවිරු සැමරුම් වැඩසටහනක් අද (27) විශ්ව විද්‍යාල භූමියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ බැවින් අදාළ ක්‍රියාව නවතා දැමීම වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් වෙත දින දෙකක කාලයක් තුළ විශ්ව විද්‍යාලයේ කිසිඳු කටයුත්තක් සිදු නොකරන ලෙසට පාලක සභාව දැනුම් දී ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් එල්. ටී. ටී.ඊ සංවිධානයේ හිටපු නායකයාගේ උපන්දිනය යෙදී  ඇති නොවැම්බර් 26 වැනිදා කේක් කපා සැමරීමටද කටයුතු කොට තිබු බවද යාපනය ආරක්ෂක අංශ පැවසුවා.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් පැවසුවේ විශ්ව විද්‍යාල සිසුන් පාලක සභාවේ නිවේදනය සම්බන්ධයෙන් අවධානය යොමු නොකර යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරීම සිදුකරනු ඇති බවයි.

සෑම වසරකම යාපනය විශ්ව විද්‍යාල සිසුන් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීම සිදුකරන බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

මේ අතර එල්. ටී. ටී.ඊ සංවිධානය වෙනුවෙන් ජිවිතක්ෂයට පත්වු එල් ටී. ටී.ඊ සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් මහවිරු සොහොන සැරසීම මේ දිනවල සිදු කෙරෙන බවද වාර්තා වෙනවා.

ආරක්ෂක අංශ පැවසුවේ මෙවර උතුරු පළාතේ ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ අද (27) සවස පැවැත්වීමට සුදානම් කොට ඇති බවයි.

කිලිනොච්චිය කනගපුරම්, මුලතිව් අලම්පිල්, මුල්ලියාවේලි, මුල්ලිවයික්කාල්, මල්ලාවි,වවුනියාව ඊච්චන්කුලම, මන්නාරම ප්‍රදේශයේ මහවිරු සොහොන් මේ වන විටත් මහවිරු සැමරුම් සැමරීමට සරසා ඇති බවද වාර්තා වෙනවා.

පසුගිය වසරේදී ද කිලිනොච්චිය කනගපුරම් මහවිරු කනත්ත කේන්ද්‍ර කර ගනිමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහවිරු සැමරුම් වැඩසටහනක් පවත්වනු ලැබුවා.

එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහවිරු සතිය නම්කොට තිබූ අතර, සෑම වසරකම නොවැම්බර් 21 වැනිදා සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මහවිරු සතිය එහිදී සමරනු ලැබුවා.

1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජිවිතක්ෂයට පත්වු සංකර් නමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම් වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබුණා.

1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම මියගිය එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ද වාර්තා වෙන බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.