Tuesday, April 16, 2024

General line - 0115112241

ලාංකිකයින් තිදෙනා දඩත් නොගෙවා නිදහස් වී ඇවිත්

ජූඩ් සමන්ත




පසුගිය අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉදරිදා සිදු වූ  ප්‍රහාරය සම්බන්ධයෙන් ඡායාරූප ෆේස්බුක් ජාලයේ හුවමාරු කර ගැනීමෙන් තම ආගමේ කීර්ති නාමයට හානියක් වූ බව පවසමින් ඩුබායි අධිකරණය විසින් නඩු කටයුතු සිදු වූ මෙරට තරුණයින් තිදෙනා නිදහස් වී නිවෙස් කරා පැමිණ තිබෙනවා.

ඔවුන් පවසන්නේ සිර දඬුවම් නියම වීමෙන් පසුව කුමන හේතුවක් මත හෝ නිදහස් වීමට අවස්ථාවක් හමු වූ බවයි.

මෙලෙස නිදහස ලබා මෙරටට පැමිණ ඇත්තේ හලාවත - තොඩුවාව පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්. රමේෂ් ප්‍රනාන්දු, ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්.ඒ.විශ්ව ද සිල්වා සහ මඩකලපුවේ පදිංචිකරුවෙකු වන ගුණදාස් ඩිරෝන් නම් තිදෙනායි.

මෙම තරුණයින් ඩුබායි හී තරු පංති සංචාරක හෝටලයක සේවය කරමින් සිට තිබුණා.
මඩකලපුවේ පදිංචි තරුණයාගේ සහෝදරියගේ දරුවන් දෙදෙනෙකු ද පාස්කු ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ ඡායාරූප මෙම තරුණයින් තිදෙනා තම තමන්ගේ ෆේස්බුක් පිටු ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් උරණ වූ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේ මහජන සම්බන්ධතා නිලධාරියා විසින් ඩුබායි හී අල්වර් සෝ පොලීසිය වෙත පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ මොවුන්ගේ ක්‍රියා කලාපය නිසා තම ආගමට කැළලක් වූ බවයි.

ඒ අනුව එම පොලිසිය විසින් පසුගිය නොවැම්බර් මස 11 වැනිදා තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

පසුව දෙසැම්බර් මස 22 වැනිදා නඩුව විභාග කර ඔවුන්ට ඩුබායි රියාල් ලක්ෂ 05 බැගින් දඩ නියම කර ඇති අතර එම මුදල නොගෙවන්නේ නම් වසර 3 ½ ක සිර දඩුවමක් එරට අධිකරණය විසින් ඔවුන්ට නියම කර තිබෙනවා.

කෙසේ වෙතත් දඬුවමට ලක්වූ තරුණයින්ගේ මව්පියන් මේ සම්බන්ධයෙන් මෙරට කාදිනල්තුමා, ජනාධිපතිවරයා සහ රාජ්‍ය ආයතන දැණුවත් කිරීමට කටයුතු කර තිබුණා.

තමන් දඩ මුදල් ගෙවීමක් නොකළ බවත්, කුමන හේතුවකට හෝ සිර දඬුවම් නියම වී සිටි තිදෙනාට නිදහස ලැබුණු බව රමේෂ් ප්‍රනාන්දු පැවසූ බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කරන්නේ. 

මෙරටට පැමිණීමට ගුවන් ටිකට් පත සඳහා මුදල් ලබා දුන්නේ එරට සිටින මිතුරන් විසින් බවද තානාපති කාර්යාලයෙන් සිදුවූ සේවා සම්බන්ධයෙන් තමන් මෙතෙක් කිසිවක් නොදන්නා බවද හෙතෙම කියා සිටියා.