Thursday, April 18, 2024

General line - 0115112241

විත්තිකරුවන් 13ටම බිරින්දෑවරුන් ශරීර ඇපකරුවන් ලෙසට ඉදිරිපත් කිරීමට නියෝග

අධිකරණ වාර්තාකරු




හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරනයේ දී කැඳවා තිබුණා. 

ඒ 2008 සහ 2009 යන වසරවලදී කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන්.  

එහිදී හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දින අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට අධිකරණයේ පෙනී සිටීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල යළි නොතීසි නිකුත් කළා. 
ඔහුට සිතාසි භාර දීම සම්බන්ධයෙන් අපැහැදිලි තත්ත්වයක් ඇති බැවින් යළි සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කරන ලදි.

මේ අතර අද අධිකරණයේ පෙනී සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශයක D.K.P. දසනායක ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට ත්‍රිපුද්ගල මහාධිකරණය අධිචෝදනා භාර දෙනු ලැබුවා. 

ඒ අනුව ඔවුන් සියලු දෙනා රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලදි. තවද සෑම විත්තිකරුවකුගේම බිරින්දෑවරුන් ශරීර ඇපකරුවන් ලෙසට ඉදිරිපත් කිරීමට ද නියෝග කරන ලදි. 

මේ අතර මෙම නඩුවට අදාළ විමර්ශනවලට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කර ඇති බැවින් එහි විමර්ශන අවසන් වන තුරු විත්තිකරුවන්ට අධිචෝදනා භාර නොදෙන ලෙසට ඉල්ලා සිටියා. තවද මෙම නඩු විභාගය සිදු කළහොත් ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණුවලට අදාළ බැවින් අධිචෝදනා පවත්වාගෙන යාමට පදනමක් නොමැති බව පවසා සිටියා. කෙසේවෙතත් කිසිදු කොමිෂන් සභාවක තීරණයක් පිළිපැදීමට මහාධිකරණයක් නීතියෙන් බැදී නොමැති බවත් මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට ද සම්බන්ධ නොමැති පුද්ගලිකව සිදු කර ඇති අපරාධයක් බව අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න පවසා සිටියා.

නාවික හමුදාවේ නිළධාරීන් වන D.K.P. දසනායක , සම්පත් මුණසිංහ , සුමිත් රණසිංහ , ඩිලන්ක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරනලගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගෙ ගාමිණී, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටිහැන්දි සහ සම්පත් ජනක පෙරේරා යන අය අද අධිකරණයේ පෙනී සිටියා.  

මෙම නඩුව යළි පෙබරවාරි මස 7 දා කැදවීමට නියමිතය .