Thursday, March 28, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය "ඇස්" හරහාද ආසාධනය විය හැකි බවට අනතුරු අඟවයි : ගුවන් තොටුපලේදී සිදුකළ විමර්ශනයෙන් දින 11කට පසුව රෝගීවූ කාන්තාවක් අමෙරිකාවෙන් හමුවේ




ඉතා වේගයෙන් පැතිරෙමින් යන චීනයේ නව කොරෝනා වෛරසය ඇස් තුලින් ද ආසාධනය විය හැකි බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා. විශේෂඥයින් සඳහන් කරන්නේ මෙම වෛරසය ඇස් හරහා ආසාධනය විය හැකි බව සොයා ගැනීමට හැකිවුයේ ඊට ගොදුරු වූ වෛද්‍යවරයෙක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව බවයි. 

කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමේදී ඊට ගොදුරුවූ වෛද්‍ය Wang Guangfa කියා සිටියේ තමන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටියත් ඒ අවස්ථාවේදී ආරක්‍ෂිත උපැස් යුවලක් පැළද නොතිබීම නිසා කොරෝනා වෛරසයට ගොදුරුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය විශේෂඥයින් අදහස් පළකරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇස් හරහාද කොරෝනා වෛරසය පැතිරී යාමට ඇති හැකියාව බහුල බවයි.

"යම් රෝගියෙකුගේ ශරීරයේ වෛරසය තිබෙන විට ඔහුව ස්පර්ශ කරන තැනැත්තා පසුව අත්වැරදීමකින් හෝ තම දෑත් ඇස් ස්පර්ශ කිරීමෙන් වෛරසය ශරිර ගතවීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. එමෙන්ම රෝගියෙකු කිවිසුම් හරින විට හෝ කැස්ස හරහා පැතිරෙන කුඩා කෙළ බිඳුවක් ඇස් වලට තැවරීමෙන් පවා තවත් අයෙකුට වෛරසය ශරීර ගතවීමේ හැකියාව පවති. ඔබ මුඛ්‍ය හා නාසය ආවරණය කිරීමට පළදින ආවරණය මගින් ඇස් ආරක්ෂා වන්නේ නැහැ. ඒ ගැනත් අවධානයෙන් පසුවිය යුතුයි" ලන්ඩනයේ වෛරස් ජාන සම්බන්ධයෙන් විශේෂඥයෙක් වන පෝල් කෙලම් මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සමග අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සම්බන්ධයෙන් ගුවන් තොටුපළවල් වලදී සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණ වලදී එම වෛරසය වැළදී ඇති රෝගීන් නිසි ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේද යන්න ගැටලුවක් මතුව තිබෙනවා. ඒ අමෙරිකාවේ, චිකාගෝ නගරයෙන් වාර්තාවූ එරට දෙවන කොරෝනා වෛරස් රෝගියා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයත් සමගයි.

චිකාගෝ හි වාසය කරනු ලබන 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් චීනයේ වුහාන් හි සිට ජනවාරි 13 වෙනිදා අමෙරිකාව බලා පැමිණ ඇති අතර ඉන් දින 11 කට පසුව ඇය එම වෛරසයට ගොදුරුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඇය ගුවන් තොටුපලේදී සිදුකළ වෛද්‍ය විමර්ශනයට මුහුණදී ඇති අතර එහිදී ඇයට වෛරස් රෝගය වැලදී තිබු බවට කිසිදු සාධකයක් හමුවී නොතිබුණු බව සඳහන්. එමෙන්ම සියැටල් නගරයෙන් වාර්තාවූ පළමු රෝගියාද චීනයේ සිට පැමිණ දින කිහිපයකට පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.
මේ අතර චීනයේ සිට තම රටවල් වලට පැමිණි ගුවන් මගින් සොයා බ්‍රිතාන්‍ය බලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ පෙර සුදානමක් ලෙස එලෙස චීනයේ සිට පැමිණි ගුවන් මගින් සොයා ගැනීම වැදගත් බවයි.

කොරෝනා වෛරසය ව්‍යාපත්වීම ආරම්භ වූ වුහාන් ප්‍රාන්තයේ රෝහලක වෛද්‍යවරයෙක් ද එම රෝගයෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. China
Liang Wudong නම් 62 හැවිරිදි වෛද්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන්ට ප්‍රතිකාර සිදුකරමින් සිටියදී ඊට ගොදුරුවී තිබෙනවා. වෛරසය වැලදී දින 09 කට පසුව ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර චීන බලධාරීන් විසින් කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් සහ මියගිය සංඛ්‍යාවන් පිළිබඳව නිවැරදි දත්ත ලබා නොදෙන බවට ඇතැම් විදෙස් බලධාරීන් චෝදනා එල්ල කරමින් සිටිනවා.

චීනයට ආසනන්යෙන් පිහිටා ඇති හොංකොං රාජ්‍ය ද පැතිරී යන කොරෝනා වෛරස් රෝගය "බරපතල" තත්ත්වයක් බවට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම පෙබරවාරි මස 17 වෙනිදා දක්වා හොංකොං හි සියලුම පාසැල් වසා තැබීමට එරට බලධාරීන් නියෝග කර තිබෙනවා.

මේ අතර වුහාන් නගරය තුල වාහන ධාවනය තහනම් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. විශේෂ අවසරයක් හිමි පුද්ගලයින් සහ රජයේ වාහන වලට හැර සෙසු වාහන වලට මෙම තහනම පනවා ඇත.

එමෙන්ම වුහාන් නගරයේ තිබෙන රෝහල්වල බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන් හි හිඟයක් ඇතිව තිබෙන බවයි එරට ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සටහන් තබා ඇත්තේ. නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා තිබෙන බැවින් එහි සිරවී සිටින ජනතාවට අවශ්‍ය කෑම බිම පවා සිමා වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.