Friday, April 26, 2024

General line - 0115112241

මාරාන්තික නව කොරෝනා වෛරසය ගැන නවතම අනාවරණයක්




රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාධනය විය හැකි බව චීනය මේ වනවිට පවසනවා. ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ මතුවී එම පුද්ගලයා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටත් පෙර තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාධනය විය හැකි බවයි චීන සෞඛ්‍ය අමාත්‍ය මා ෂියා ඕවේ උපුටා දක්වමින් CNN පුවත් සේවය අද (27) වාර්තා කළේ.

පවතින තත්ත්වය හමුවේ වෛරසය ආසාධනය වීම පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බව ද චීන බලධාරීන් සඳහන් කළා.

මේ අතර චීනයේ බීජිං, ෂැංහයි හා ෂැන්ඩොන් නගරවල සිදුකරන දුර ගමන් සේවා බස්රථ ධාවනය අද සිට අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ පෙර පාසල් මෙන්ම පාසල් රැසක් ද වසා දමා ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

මේ අතර නව කොරෝනා වෛසරය ආසාධනය වූ 05 වන අමෙරිකානු පුරවැසියා ඊයේ (26) හමුවී තිබුණා. ඔහු ඇරිසෝනා ප්‍රාන්ත වැසියෙක්. වෛසරය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බැවින් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසත් අමෙරිකානු බලධාරීන් සිය වැසියන්ට උපදෙස් ලබාදුන්නා. 

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය තුළ වන සතුන් අලෙවිය සඳහා පැනවූ තහනම අද සිට ක්‍රියාත්මකයි. වූහාන් ප්‍රාන්තයේ පිහිටි වන සතුන් අලෙවි කළ වෙලඳසැලකින් මෙම මරාන්තික වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වන්නට ඇති බවටයි මේ වනවිට අනුමාන කර ඇත්තේ.

ඒ අනුව අද සිට කිසියම් වෙළඳසැලක වන සතුන් හෝ ඔවුන්ගේ මස් අලෙවි කළහොත් හා ආපන ශාලාවක එම මස් අලෙවි කළහොත් අදාළ වෙලඳසැල් මෙන්ම ආපනශාලාවලට ද සීල් තබන බව බලධාරීන් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. 

එවැනි වෙළඳසැල් හා ආපනශාලා පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද සඳහන්. නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුළ ප්‍රකාශයට පත් කළ හදිසි සෞඛ්‍ය තත්ත්වය ඉවත් කරන තුරු වන සතුන් අලෙවිය සඳහා පැනවූ මෙම තහනම ක්‍රියාත්මක බවයි චීන බලධාරීන් පැවසුවේ.