Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් ගුවන් යානයක් එනතුරු චීනයේ සිසුන් බලාපොරොත්තුවෙන්




පවතින අවධානම් සහගත තත්ත්වය හේතුවෙන් හැකි ඉක්මනින් යළි දිවයිනට පැමිණීම තම අරමුණ වී ඇතැයි චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වූහාන් ප්‍රාන්තයේ තත්ත්වය දිනෙන් දින දරුණු වෙමින් පවතින බවයි. අද වනවිට චීනයේ පවතින තත්ත්වය සහ එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ තර ගත්තා චීනයේ බීජිං අගනුවර සිටින චීන ශ්‍රී ලංකා තරුණ සංසදයේ ලේකම් දර්ශන ගොඩවත්ත.

ඔහු ප්‍රකාශ කළේ යළි දිවයිනට යාම සඳහා ශ්‍රී ලංකාවෙන් ගුවන් යානා එනතුරු චීනයේ සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් අපේක්ෂාවෙන් පසුවන බවයි. 

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ට නැවත මෙරටට පැමිණීම සඳහා විශේෂ පහසුකම් සැපයීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට අවශ්‍ය චීනයේ සිටින සිසුන්ට ජාතික ගුවන් සේවය හරහා සියයට 50 ක වට්ටමක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ. 

මේ අතර කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනුවර සිටින සිසුන් 150 දෙනෙකු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමටයි ආණ්ඩුවේ සැලසුම් වී ඇත්තේ. ඒ සඳහා අද සිට කටයුතු සිදුවන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ. 

කෙසේවෙතත් තවත් රටවල් කිහිපයක් දැනටමත් චීනයේ සිටින සිය රටවැසියන් ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානා පිටත් කර හැරීමටයි තීරණය කර ඇත්තේ.