Friday, March 29, 2024

General line - 0115112241

කලූ කොටියාගේ මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදුකරන ලෙස අධිකරණ නියෝගයක්

රංජිත් රාජපක්ෂ / ප‍්‍රගීත් ජානක




නල්ලතන්නිය, ලක්ෂපාන වලමලෙයිවත්ත ප‍්‍රදේශයේදී මද්දකට හසුවී සිටියදි මුදාගෙන ප‍්‍රතිකාර ලබාදෙමින් සිටි අතරතුර උඩවලව ඇත්අතුරු සෙවනේදී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශූ වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසට හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා. 

එහි වාර්තාව ලබන ජූලි මස 29 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි හැටන් දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් ජේ ට්‍රොස්කි අද නියෝග කළේ. නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව ඇත් අතුරු සෙවෙණේ පශු වෛද්‍ය රෝහලේ සිදු නොකර, එය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසටයි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පැන්තරා පාදුස් වර්ගයේ මෙම කලූ කොටියන් 06 දෙනෙකු පමණ ශ‍්‍රී පාද රක්ෂිතයේ සිටින බවයි ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ. 

මෙම කලූ කොටියා මියයාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදුකිරීමෙන් මෙම සත්ත්වයා මියයාමට හේතුව නිශ්චිත වශයෙන්ම තහවුරු කර ගත හැකි බවද නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මෙහිදී සඳහන් කළා. 

එම කරුණු සලකා බැලූ හැටන් මහේස්ත‍්‍රාත්වරයා, මියගිය කලූකොටියාගේ ජාන සාම්පල ලබාගෙන එය වන සංරක්ෂණ අවශ්‍යතාව සඳහා පරිශීලනය කිරීමට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේම ගබඩා කරන ලෙසයි නියෝග කර ඇත්තේ. කෙසේවෙතත්, මියගිය කලූ කොටියාට බරපතල තුවාල සිදුවී නොතිබූ බවයි නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ. මද්දකට හසුව මුදාගැනීමෙන් පසු සුළු තුවාල ලබා සිටි එම කලූ කොටියාට ප‍්‍රතිකාර ලබාදෙන ලෙස පශු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව ද නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළා.
 
එහෙත්, එම ඉල්ලීම නොතකා පශු වෛද්‍යවරුන් එම කලූ කොටියා වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය බව පවසමින් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැුගෙන ගිය බවටයි නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් චෝදනා කරන්නේ. කෙසේවෙතත්, දරුණු තුවාල සහිතව සිටි මෙම දුර්ලභ ගණයේ කලූ කොටියා සුවකිරීම සඳහා උඩවලව ඇත්අතුරු සෙවනේ වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දැරූ බව එහි පශු වෛද්‍ය මාලක අබේවර්ධන සඳහන් කළා.  

මෙම කලූ කොටියා මද්දකට හසුවීමත් සමග අවට ජනතාව එක්රැුස්වීම හරහා එම සත්ත්වයා කලබලයට පත්වීම ශරීර හානි වැඩිවීමට හේතුවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.