Friday, March 29, 2024

General line - 0115112241

සමාජය තුළ වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම වැඩියි : වැලිසර සිද්ධියේදී රට වසා දමල තිබුණේ, අද තත්ත්වය වෙනස් - වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි




නව කොරෝනා වෛරසය සමාජ තුළ ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බවත් යම් හෙයකින් වෛරසය සමාජය තුල ව්‍යාප්ත වුවහොත් ඉන් ඇතිවිය හැකි තත්ත්වය ඉතා භයානක වනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සාමාජිකයින් ගේ රෝග පාලනය කිරීමේදී රට වසා දමා තිබුනත් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හරහා ඇතිව තිබෙන පොකුර පාලනය කිරිමේදී රට විවෘතව තිබීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය ගැන දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි.

" කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ තත්ත්වය සමග එහි සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි සේවකයින් පාසැල් වලට, රැස්වීම් ඇතුළුව විවිධ ස්ථානවලට ගොස් තිබීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ මෙහෙයුම් වැඩියි.

ආසාදිත පුද්ගලයෙකු ගෙන් වෛරසය සමාජ ගතවීම පහසුවෙන්ම සිදුවිය හැකියි. මේ දක්වා සමාජයට ව්‍යාප්ත වූ කොරෝනා රෝගීන් වාර්තා වන්නේ රාජාංගනය ඇතුළුව ප්‍රදේශ 06 කින්.

වැලිසර නාවික හමුදා කඳවුරේ රෝගීන් වාර්තා වන විට රට තිබුනේ ලොක්ඩවුන් තත්ත්වයක. ඒ නිසා වැලිසර නාවික කඳවුරේ සෙබළුන් නිවාඩු ලබා ගොස් සිටියත් සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනා ගත්තත් ඔවුන් හරහා සම්බන්ධවූ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සොයා ගැනීම පහසුවී තිබුණා. නමුත් අද වන විට එය වෙනස් තත්ත්වයක පවතින්නේ.

වත්මන් තත්ත්වය මත වෛරසය සමාජය තුල පැතිරීමේ වැඩි අවධානමක් තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව සංචරණයන් සීමා කිරිම වැදගත්. විශේෂයෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර ගමන් බිමන්වලින් වැලකි සිටිම යහපත්.

කොවිඩ් වසංගතය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වනවා. අමෙරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල කෙටි කලක් තුල රෝගීන් දෙගුණයක් වුයේ ඒ හේතුවෙන්.

උදාහරණයක් ලෙස රාජාංගනය ප්‍රදේශයට පැමිණියේ වෛරසය ආසාදනය වූ එක් රෝගියෙකු පමණයි. නමුත් ඔහු හරහා එම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 15 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වෙලා තිබෙනවා. මේ ආකාරයෙන් කොරෝනා වෛරසය සමාජය තුලට ව්‍යාප්ත වුවහොත් එමගින් ඇති වෙන්න පුළුවන් තත්ත්වය ඉතා භයානකයි.

අපිට තිබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක්. වෛරසය සමාජය තුලට ව්‍යාප්ත වුවහොත් මේ තිබෙන රෝහල් මදිවෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක මදි වෙනවා. මේ වෛරසය පාලනයකින් යුතුව රැගෙන යා යුතුයි. අප එදා එය එසේ සිදු නොකළානම් අද මේ ජිවතුන් අතර සිටින ඇතැම් අය ජිවතුන් නොසිටින්න පුළුවන්" විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.