Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයින් පිරිස 

ටි.කේ.ජි. කපිල 




වාණිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21) දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු ප්‍රකාශ කර සිටියා.

මෙම පිරිස ඊයේ දින රාත්‍රී 10.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම නෙදර්ලන්ත ජාතික සංචාරකයන් පිරිස අතර  කුඩා ළමුන් 05 දෙනෙකු සහ ඔවුන්ගේ වැඩිහිටි දෙමාපියන් 05 දෙනෙකු සිටියා.

මීට අමතරව තවත් ජර්මන් ජාතික සංචාරකයන් 05 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර ඔවුන් ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සදහා විවෘත බව පිළිබඳව වාර්තාකරණය පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

 ශ්‍රී ලංකාවට පැමිණි මෙම පිරිස බෙන්තොට බීච් හෝටලය වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබු බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මේ අතර, දිවයිනට පැමිණෙන විදේශීය සංචාරකයින් විවිධ ස්ථානවල සංචාරය කරද්දී ශී‍්‍ර ලාංකිකයින් මුණ නොගැසෙන ආකාරයෙන් එම කටයුතු සැලසුම් කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ස්ථානවලට සංචාරකයින් පැමිණෙන අවස්ථාවලදී ද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කෙරෙන බවයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, රට සංචාරකයින්ට විවෘත කිරීමත් සමග මතුවිය හැකි තත්ත්වයන් සමාලෝචනය කර විසඳුම් ලබාදීම සඳහා පැය 24 පුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.