Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ට දැඩි සීමා




ඉන්දියාවේ සිට මෙරටට සංචාරකයින් පැමිණීම උපරිමයෙන් සීමා කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දීය සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන දැඩි නීති හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

ඉන්දියාවෙන් මේවනවිට සීග්‍රයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් තිබෙනවා. ගතවූ දින කිහිපයේම එරට දෛනික ආසාදිතයින් ලක්ෂ 03 සීමාව පසුකර ගියා. පවතින තත්ත්වය සලකා රටවල් රැසක්ම මේවනවිටත් ඉන්දියාවට සංචාරක තහනමක් පනවා තිබෙනවා.

ඇතැම් රටවල් ඉන්දියාව සමග පවත්වන ඍජු ගුවන් ගමන් පවා මේවනවිටත් අත්හිටුවා අවසන්.

එවන් පසුබිමක් මතුව තිබියදීත් තවදුරටත් ඉන්දියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙනවා.

පවතින අවදානම හෝ සලකා ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි දැයි බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

ඒ අනුවයි නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසා සිටියේ. අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය සංචාරකයින් මෙරටට පැමිණීම නතර කළ නොහැකි වුවත්, සීමා කිරීමට හැකි බවයි.

සංචාරකයින් මෙරටට ගෙන්වීම නතර කිරීමට නම් බලධාරීන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග නෙත් නිවුස් වෙත පැවසුවේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් කියා සිටියේ මෙරට හෝටල් ඉන්දීය සංචාරකයින්ට පහසුකම් සැපයීමට අකමැත්ත පළ කර ඇති බවයි.

මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් වන බි්‍රතාන්‍ය, ජර්මනිය මෙන්ම චීනයෙන් ද සංචාරකයින් පැමිණීම අඩු අගයක් ගන්නා  බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.