Thursday, April 18, 2024

General line - 0115112241

මෙරටින් හමුවූ ඉන්දීය ප්‍රභේදයේ භයානකත්වය ගැන විශේෂ අනාවරණයක් (VIDEO)




ශ්‍රී ලංකාවේ සමාජයෙන් හඳුනාගෙන ඇති ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා ප්‍රභේදය මේවනවිට ලෝකයේ ඇති දරුණුතම කොරෝනා ප්‍රභේදය බව විද්‍යාඥයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේවනවිට පැතිර යන කොරෝනා ප්‍රභේදයන්ට වඩා දෙගුණයක වේගයකින් මෙම වෛරස් ප්‍රභේදයට පැතිර යා හැකි බවයි. මිනිසාගේ ශ්වසන පද්ධතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වේලාවක් රැඳී තිබිය හැකි බවත්, මේ හේතුවෙන් රෝගී තත්ත්වය දරුණු විය හැකි බවත් විද්‍යාඥයින් පවසනවා. 

ඩෙල්ටා ප්‍රභේදය යනු විකෘති කොරෝනා ප්‍රභේදයක්. මේවනවිට එය ලොව රටවල් 80 කින් සොයා ගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම ව්‍යාප්තියක් ඇත්තේ ඉන්දියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයය තුළයි. ඉවත් කිරීමට සැලසුම් කර තිබූ සංචරණ සීමා යළි දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍යයට හේතුවූයේ ද මෙම ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියයි. 

බ්‍රිතාන්‍යයෙන් අළුතින් වාර්තා වන රෝගීන්ගෙන් සියයට 60 ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් වීම කැපී පෙනෙන තත්ත්වයක්. අමරිකාවෙන් අළුතින් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 10 ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින්. 

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු මෙරට සමාජයෙන් පළමුවරට හඳුනා ගැනුණේ ඊයේ දිනයේයි. ඒ, කොළඹ, දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙන්. 

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් නෙත් නිවුස් ඉදිරි පරීක්ෂණ සම්බන්ධයෙන් විමසීමක් කළා. 

මෙතරම් භයානක ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට ජනතාව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද?

මේ අතර ගතවූ පැය 24 ද, අළුතින් ආසාදිතයින් 2,372 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 33,064 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඉකුත් 16 වනදා සිදුවූ කොරෝනා මරණ 51 ක්ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.