Thursday, April 18, 2024

General line - 0115112241

ගිනිගත් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට ලක්ෂ 05 බැගින් වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්




එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන ලෙස බලධාරීන්  වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු යන අය විසින්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු පාර්ශව 12 ක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පවසන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ඇති වූ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් හේතුවෙන් එම නෞකාව කටාර් සහ ඉන්දියානු රාජ්‍යයන්හි පිහිටි වරායන්වලට ඇතුලත් කර ගැනීම එරට බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ බව තමන් ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බවයි.

එවැනි අනතුරුදායක තත්ත්වයක්  තිබියදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් අදාළ නෞකාවට කොළඹ වරායට ඇතුළුවීමට අවසර ලබා දීම තුළින් ඔවුන් නොසැලිකිලිමත් ලෙස රාජකාරිය ඉටු කිරීම පැහැර හැර ඇති බවට පෙත්සම්කරුවන් චෝදනා කරනවා.
මෙම අනතුරෙන් පසුව මීගමුවේ සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වීම රජය විසින් තහනම් කිරීම හේතුවෙන් ධීවරයින් රැසකට සිය ජීවනෝපාය මුළුමනින්ම අහිමි වී ඇති පෙත්සමේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.