Saturday, April 20, 2024

General line - 0115112241

රටවල් 03ක් එක්වූ විශේෂ ආරක්ෂක ගිවිසුම චීනය හෙළා දකියි




අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එක්ව ප්‍රකාශයට පත් කර ඇති විශේෂ ආරක්‍ෂක ගිවිසුම චීනය විසින් දැඩි ලෙස හෙළා දකිනු ලැබ තිබෙනවා. මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉහළ පෙළේ ආරක්‍ෂක තාක්‍ෂණික පහසුකම් හුවමාරු කර ගැනීමයි. ඒ යටතේ ඕස්ට්‍රේලියාවට අලුතින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇති. ඕස්ට්‍රේලියාවට එවැනි අවස්ථාවක් හිමිවන පළමු අවස්ථාව මෙයයි.

ඒ පිළිබද අදහස් දක්වමින් චීනය පවසා ඇත්තේ මෙම ආරක්ෂක ගිවිසුම අතිශය වගකීම් විරහිත පටු ආකල්පයක් සහිත ක්‍රියාදාමයක් බවයි. කළාපයේ සාමයට මෙමගින් දැඩි හානි පමුණුවන බවත්, යල් පැන ගොස් ඇති සීතල යුද්ධය යළි මතු කරන්නක් බවටත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ශාවෝ ලිජියන් පවසා තිබෙනවා.

විදෙස් විචාරකයින් පැවසුවේ ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයය එක්ව ප්‍රකාශයට පත් කළ නව ආරක්‍ෂක ගිවිසුම චීනයට අනතුරු ඇඟවීමේ උත්සාහයක් විය හැකි බවටයි. ඒ, ඉන්දු - පැසිෆික් කලාපයේ වර්ධනය වන චීන බලය සහ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම රටවල් අප්‍රසාදයෙන් පසුවීම හේතුවෙන්.