Saturday, April 20, 2024

General line - 0115112241

කටුනායක අධිවේගී මාර්ගයේ වටිනා ගස් 10ක් කපා දැමු අයකැමිවරයා බේරා ගන්න දැඩි උත්සහයක්




කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව කාර්යාලයේ වටිනා ගස් 10ක් කපා විකුණා දැමීම පිළිබද චෝදනා ලැබූ අයකැමි අධිකාරිවරයෙකු බේරා ගැනීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

විනය පරීක්ෂණයකට භාජනයවීම මත ඔහුගේ ශ්‍රේණි උසස්වීමක් ලබාදීම අත්හිටුවා ඇතත් එය වහාම ලබාදෙන ලෙස අධිවේගී මාර්ගයේ නිලධාරිනියක් හා ඉහළ නිලධාරියෙකු පරිපාලන අංශ වෙත බලපෑම් කරමින් සිටින බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාල ආරංචි මාර්ග පැවසුවේ. දැනට දරණ තනතුරට අමතරව මෑතකදී විවෘත වූ කුරුණෑගල - මීරිගම අධිවේගී මාර්ගයේ වැඩබලන අයකැමි අධිකාරි ලෙසද  විනය පරීක්ෂණයකට ලක්ව සිටින මෙම නිලධාරියා අමතර දීමනාවක්ද  සහිතව පත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ගස් කැපීමේ සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරු වන ආරක්ෂක නිලධාරියාට මෙම නිලධාරියා සෘජුවම හා වෙනත් පුද්ගලයින් ලවා සාක්ෂි නොදෙන ලෙස බලපෑම් කොට ඇති බවත්, ඔහුගේ එම ඉල්ලීමට එකඟ නොවූ නිසා මෙම ආරක්ෂක නිලධාරියාට ඔහුගේ හිරිහැර වලට මුහුණ දීමට සිදුව ඇති බවත් එම පෞද්ගලික ආරක්ෂක සමාගම අධිවේගී මාර්ග අධ්‍යක්ෂ වෙත ලිපියක් මඟින් දැනුම්වත් කර තිබෙනවා.

පොදු දේපළ පනත යටතට ගැනෙන බරපතළ වංචාවක් වුවත් ඔහු අරභයා කිසිදු විනය පියවරක් හෝ ගැනීමෙන් වැලකෙමින් හා අතිරේක වරප්‍රසාද ද ලබා දෙමින්, ඔහු හට සාක්ෂිකරුවන් වෙත රිසිසේ බලපෑම් කිරීමට ඉඩ දී ඇත්තේ ඔහුට අමතරව බලවත් හස්තයක් මේ ගස් කැපීමේ සිදුවීම හා සම්බන්ධ නිසා බව සේවකයන් පවසනවා.  

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රයේ පිහිටි වටිනා ගස් 10 ක් අනවසරයෙන් කපා ඇති බවට නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා. එම කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් මෙය සිදුවී ඇති බවයි අධිවේගී මාර්ග කාර්යාල ආරංචි එහිදී පැවසුවේ. අධිවේගී මාර්ගයේම කම්කරුවන් යොදවා අවස්ථා කිහිපයකදී මෙලෙස කපාගෙන ගොස් තිබුණේ ඇකේෂියා ගස් 10 ක්. මෙලෙස කපා ඇත්තේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන කාර්යාල පරිශ්‍රයේ ආපනශාලාව හා සේවක නිවාස අසල තිබූ ගස් 10 ක්. 

රාජ්‍යය ආයතනයකට අයත් භූමියක ඇති ගස් කපා ඉවත් කරන්නේ නම් ඊට අදාළව විධිමත් පුර්ව අනුමැතියක් අනිවාර්යෙන්ම ලබාගත යුතුයි. ගස්කපා ඉවත් කිරීම ද,  විකිණීම ද සිදු කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම් හා රාජ්‍යය දැව සංස්ථාවේ මැදිහත් වීමෙන්. එහෙත් අනවසරයෙන් මෙම ගස් කපාගෙන ගොස් ඇති බවටයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.