Tuesday, April 23, 2024

General line - 0115112241

විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහන සකස් කරයි 




හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහන සකස් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. 

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දරන බවයි.

කෙසේවෙතත් විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු සොයා ගැනීමද ඉදිරියේදී ගැටලුවක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

 එහි විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ ගල් අඟුරු මිලදී ගැනීම නිසි ලෙස සිදු නොවුණහොත් ලබන ජූලි මාසය වන විට රටේ ගල් අඟුරු සංචිත අවසන් වීමේ අවදානමක් ඇති බවයි.

ඔහු සඳහන් කළේ මෙරට ජල විදුලි උත්පාදනය ද ඉදිරියේදී සැලකිය යුතු මට්ටමකින් අඩුවිය හැකි බවයි.

මේ අතර ඉන්ධන අර්බුදයක් ඇතිවුවහොත් දැනට පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ. 

කෙසේවෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සදහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට පියවර ගැනීමත් සමග විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.