Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් ලෝක කුසලානයේ රටවල් 2ක ඉරණම ශ්‍රී ලංකාව අතේ




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟයි. 

අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වන ප්‍රතිඵලයෙන් ලෝක කුසලානයේ රටවල් දෙකක ඉරණම තීරණය වීම විශේෂත්වයක්.

මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකාව “ඩී” කාණ්ඩයෙන් තරඟවදින අතර ඔවුන් තරඟ දෙකකට සහභාගීවී ප්‍රසාද ලකුණු 04 ක් ලබා පෙරමුණේ පසුවනවා. 

දෙවන ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාව තරඟ 03 කදී රැස් කරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 04 ක් පමණයි. බටහිර ඉන්දිය කොදෙව්වන් තරඟ දෙකකදී ප්‍රසාද ලකුණු 02 ක් රැස්කරගෙන සිටිනවා.

ඒ අනුව අද තරඟයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් සත්කාරක කොදෙව්වන් තරඟාවලියෙන් ඉවත් වනවා. 

අද තරඟයෙන් කොදෙව්වන් ජයගතහොත් ඔස්ට්‍රේලියාව තරඟයෙන් ඉවත්වීමට සිදුවනු ඇති. ඒ, කොදෙව්වන්ගේ දල ලකුණු වේගය ඕස්ටේ්‍රලියාවට වඩා ඉහළ මට්ටමක පැවතීමයි.

මේ අතර සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරඟය අද පස්වරු 2 යි 30 ට ආරම්භ වනවා. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මහීෂ් තීක්ෂණ වෙනුවට රමේෂ් මෙන්ඩිස් කැඳවනු ඇති.