Thursday, April 25, 2024

General line - 0115112241

පහේ ශිෂ්‍යත්ව විභාගය අද - කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යන්නැයි මව්පියන්ට දැනුම් දීමක්




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. 

මෙලෙස අද පැවැත්වෙන්නේ 2021 වසරේ පැවැත්විමට නියමිතව තිබූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයයි. මෙවර විභාගයට සහභාගී වන සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 40,508 ක්. 

ඉන් දෙලක්ෂ 55, 062 දෙදෙනෙකු සිංහල මාධ්‍යයෙන්ද, 85, 446 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් ද විභාගයට පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 2,943 ක් හා විශේෂ මධ්‍යස්ථාන 108 ක් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සූදානම්.

විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ කොවිඩ් ව්‍යවසනය හමුවේ වුවද, කිසිඳු දරුවෙකුට අසාධාරණයක් නොවී විශේෂ ක්‍රමවේද යටතේ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. 

ඒ අනුව කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානයක් බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර තිබෙනවා. කොවිඩ් ආසාදිත දරුවන් තමාට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් ඡක්‍ඍ හෝ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවක් ලබාදී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය හැකියි. 

මේ, එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිළි කරන විභාග දෙපාර්තමේන්තුවේ පාලන හා විමර්ශන විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර. 

විභාගයට පැමිණීමේදී මව්පියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළඳීම, දෙඅත් සේදීම හා පුද්ගල දුරස්ථභාවය වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකිරීම අනිවාර්යය වනවා. 

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන්ට විභාගයට මුහුණදීමට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇති බවයි. 

විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ දරුවන්ට සැහැල්ලුවෙන් විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය සියලු වටපිටාව සකස් කර ඇති බවයි. 

මේ අතර අනවශ්‍ය බියකින් තොරව සැහැල්ලුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටින ලෙසයි ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන් දරුවන්ගෙන් ඉල්ලීමක් කළේ.