Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ගත් තීරණය




ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්‍ෂ තාවකාලිකව එම ධුරයෙන් ඉවත් වී තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඇය සදහන් කළේ දෙහිවල සත්වෝද්‍යානයේ අක්‍රමිකතාවලට සම්බන්ධ සේවකයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා තෙක් තමන් සේවයට වාර්තා නොකරන බවයි. ඒ පිළිබද තමන් ජනාධිපති ලේකම්වරයා සහ වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවා.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයාම මෙන්ම රෝගීවීම පිළිබද පශූ වෛද්‍යවරුන් සහ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සොයා නොබැලීමට විරෝධය පළ කරමින් සේවකයන් පිරිසක් දින තුනක් පුරා වර්ජනයක නිරත වුණා. කෙසේවෙතත් අධ්‍යක්‍ෂ ජනරාල්  ශර්මිලා රාජපක්‍ෂ පැවසුවේ වෘත්තීය සමිති නිලධාරීන් විසින්ම පිහිටුවාගෙන තිබූ සුබසාධක සමිතිය මගින් රජයේ මුදල් අවභාවිත කරමින් අයුතු ලාභ ඉපැයිම සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනවලට එරෙහිව ඔවුන් එලෙස තමන්ට චෝදනා එල්ල කරන බවයි. 

දින 14 ක් තුළ ඒ පිළිබද පරීක්‍ෂණයක් පවත්වා තමන් වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සකස් කරන මෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය, ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යැවූ ලිපියේ සදහන්. 

එසේ නොවන්නේ නම් තමන්  එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්‍ෂ වැඩිදුරටත් පැවසුවේ.