Wednesday, April 17, 2024

General line - 0115112241

නිවෙස් ගත කොරෝනා ආසාදිතයින්ගේ ඉහළ යාමක්




නිවෙස් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව කොවිඩ් ආසාදිතයින් සදහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සදහන් කළේ මේ වනවිට නිවෙස් ගතව ආසාදිතයින් 3,347 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

ඔමිකෝන් ප්‍රභේදය හමුවේ රට තුළ තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් පෙන්නුම් කරන බවයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කොරෝනා වෛරසයට අමතරව ඩෙංගු සහ තවත් උණ රෝගී තත්ත්වයක් ව්‍යාප්තවෙමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මේ හේතුවෙන් උණ රෝගී තත්ත්වය නොසලකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දුන්නේ. 

මේ අතර දින 4 ක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වු පාර්ලිමේන්තු මන්ත්‍රී ගණන 4  දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාරතී දුෂ්මන්ත සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත්  සමගයි. 

සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ඊයේ දිනයේ පාර්ලිමේන්තු රැස්වීමටද සහභාගි වී ඇති බවයි වාර්තා වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානිකම්ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව ඊයේ වාර්තා වුණා. අමාත්‍ය සරත් වීරසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේ මීට දින දෙකකට පෙරයි.