Friday, April 19, 2024

General line - 0115112241

නෙත් අනාවරණයෙන් අධිවේගයේ නිලධාරියාගේ උසස් වීම නතර වෙයි




විනය පරීක්‍ෂණයකට ලක්ව සිටින කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ප්‍රධාන අයකැමිවරයෙකුට උසස්වීමක් සහ දීමනාවක් සහිතව ලබාදි තිබූ ස්ථාන මාරුව නෙත් නිවුස් අනාවරණයෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය අවලංගු කර තිබෙනවා. 

මෙලෙස ස්ථාන මාරුව ලැබී තිබුණේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව කාර්යාලයේ වටිනා ගස් 10ක් කපා විකුණා දැමීම පිළිබද චෝදනා ලැබූ ප්‍රධාන අයකැමිවරයෙක්. මාර්ග සංවර්ධන අධිකාරිය ඔහුට ස්ථාන මාරුවීම් ලබාදී තිබුණේ කුරුණෑගල - මීරිගම අධිවේගී මාර්ගයේ වැඩබලන අයකැමි අධිකාරිවරයා ලෙසයි.  

විනය පරීක්ෂණයකට ලක්ව සිටින මෙම නිලධාරියාට එම ස්ථාන මාරුව ලබාදීමට අධිවේගී මාර්ගයේ නිලධාරිනියක් හා ඉහළ නිලධාරියෙකු පරිපාලන අංශ වෙත බලපෑම් ද කර තිබූ බවයි ඉකුත්දා නෙත් නිවුස් අනාවරණ කළේ. නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම ස්ථාන මාරුවීම අවලංගු කර තිබෙනවා. ඔහුගේ නිත්‍ය තනතුර ප්‍රධාන අයකැමි තනතුර වුවත් පරිපාලන සම්ප්‍රදයින්ටද පටහැනි සේ ඔහු තනතුරු දෙකක් ඉහළින් ඇති අයකැමි අධිකාරී තනතුරටයි උසස් කර තිබුණේ.


කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පරිශ්‍රයේ පිහිටි වටිනා ගස් 10 ක් කපා තිබුණේ කිසිදු අවසරයකින් තොරවයි. 

මෙලෙස කපා ඇත්තේ සීදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන කාර්යාල පරිශ්‍රයේ ආපනශාලාව හා සේවක නිවාස අසල තිබූ ගස් 10 ක්. 
රාජ්‍යය ආයතනයකට අයත් භූමියක ඇති ගස් කපා ඉවත් කරන්නේ නම් ඊට අදාළව විධිමත් පුර්ව අනුමැතියක් අනිවාර්යෙන්ම ලබාගත යුතුයි. 


ගස්කපා ඉවත් කිරීම ද,  විකිණීම ද සිදු කළ යුත්තේ ප්‍රාදේශීය ලේකම් හා රාජ්‍යය දැව සංස්ථාවේ මැදිහත් වීමෙන්. එහෙත් මෙම ගස් කපාගෙන ගොස් එවැනි කිසිදු අවසරයකින් තොරව බවටයි ඉකුත්දා නෙත් නිවුස් අනාවරණ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ වුණේද ඒ අනුවයි. කෙසේවෙතත් එම පරීක්‍ෂණය මෙතෙක් අවසන් වී නැහැ.