Thursday, April 25, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා නවසිලන්ත අගමැතිනිය විවාහය කල් දමයි




නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ සිය විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ, රට තුළ පවතින ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේයි. පවතින තත්ත්වය අනුව රටේ ජනතාව මුහුණ පා ඇති සෞඛ්‍ය අවධානම හේතුවෙන් නව සෞඛ්‍ය රෙගුලාසි පැනවීමටයි අග්‍රාමාත්‍යවරිය තීරණය කර ඇත්තේ. එම සෞඛ්‍ය රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. නව රෙගුලාසිවලට අනුව පොදු ස්ථානවලදී මුව ආවරණ පැලඳීම අනිවාර්යය කිරීමටත්, මහජන ඒකරාශීවීම් සීමා කිරීමටත් රජයේ අවධානය යොමුව තිබෙනවා. 

මෙලෙස නව සෞඛ්‍ය රෙගුලාසි පැනවීමට නවසීලන්ත රජය තීරණය කර ඇත්තේ එරට සමාජය තුළින් ඔමික්‍රෝන් ආසාදිතයින් 09 දෙනෙකුගෙන් යුත් පොකුරක් හඳුනා ගැනීමත් සමගයි. ඉකුත් දා පැවැති විවාහ මංගල උත්සවකට සහභාගී වූ පිරිසකගෙන් එම ආසාදිතයින් පිරිස හඳුනාගෙන තිබෙනවා. 

කෙසේවෙතත් සිය විවාහ මංගල උත්සවය කල් දැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න්ගෙන් විමසීමක් කළා. ඇය පැවසුවේ තනතුර හේතුවන් තමන් විශේෂ පුද්ගලයෙකු නොවන බවයි. සියලු නවසීලන්ත වැසියන්ට පනවා ඇති පොදු සෞඛ්‍ය රෙගුලාසිවලට තමන් ද අනුගත විය යුතු බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් පෙන්වා දෙන්නේ.