Friday, March 29, 2024

General line - 0115112241

මෙරටට පැමිණි ඉන්දීය විදේශ ඇමති ඉන්ධන පිරවුම් හලකට




තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැමිණීම පිළිබඳ සතුට පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ආහාර, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබාදීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විසින් එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර තිබෙනවා.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අතර හමුවක් ද අද සිදුවුණා. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඔහුගේ මෙරට සංචාරය ආරම්භ කළේ මුදල් අමත්‍යවරයා හමු වීමෙන් පසුව බවයි. 

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සහ ඊට ඉන්දියාවෙන් ලබා දිය යුතු සහයෝගය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා. “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියට අනුව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් කොළඹ පිහිටි ලංකා IOC ඉන්ධනහලක් වෙත ද ගොස් තිබෙනවා. එහිදී IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා විසින් මෙරට ඉන්ධන සැපයුම් තත්ත්වය පිළිබඳව තමන් දැනුවත් කළ බවයි සිය ට්විටර් ගිණුමේ සිංහල භාෂාවෙන් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.