Thursday, March 28, 2024

General line - 0115112241

ඩයලොග්, MAS, Hemas හා සර්වෝදය අවශ්‍යතා සහිත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා ‘මනුදම් මෙහෙවර’ දියත් කරයි : දැඩි ලෙස පීඩාවට පත් පවුල් 100,000කට වැඩි සංඛ්‍යාවකට හදිසි සහන




ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම, MAS Holdings Pvt Ltd, Hemas Holdings PLC, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC Sri Lanka එක්ව කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් රට තුළ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවන්ට හදිසි සහන සැලසීමේ ක්‍රියාන්විතයක් ලෙස ‘මනුදම් මෙහෙවර’ සහන වැඩසටහන දියත් කරන ලදී.

පීඩාවට ලක්ව සිටින ප්‍රජාවන්ට ක්ෂණික ආධාර සැපයීමේ දැක්මට අනුව මෙහෙයවනු ලබන ‘මනුදම් මෙහෙවර’ ආයතනික හවුල සර්වෝදය ඇතුළු සම අදහස් සහිත හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගත් අතර එමඟින් දැඩි ලෙස පීඩාවට පත්වූ 100,000කට අධික පවුල් සංඛ්‍යාවකට, විශේෂයෙන්ම දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාවන් හඳුනාගෙන හදිසි සහන සැලසෙනු ඇත. ආයතනික හවුල්කරුවන්ගේ අනුකූලතා අවශ්‍යතා අනුව මූල්‍ය පාලනය හා වාර්තා කටයුතු අධීක්ෂණය කිරීම සඳහා PwC සමාගම මෙම මූලාරම්භයේ සහකරුවෙක් බවට පත්විය. තවද ස්වාධීන රූපවාහිනී නාලිකාව, සියත, ස්වර්ණවාහිනී, ටී.වී. දෙරණ සහ වසන්තම් මාධ්‍ය හවුල්කරුවන් ලෙසින් එක්විය. මනුදම් මෙහෙවර 2022 අප්‍රේල් මස 10 වැනි දින මෙහෙයුම් සමාරම්භය සටහන් කරන අතර දිස්ත්‍රික්ක 25 පුරාම අවශ්‍යතා සහිත පවුල් සඳහා හදිසි අවශ්‍ය වියළි සලාක ඇසුරුම් බෙදා දෙනු ලැබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා ‘රටපුරා අවශ්‍යතා සහිත පවුල් 100,000කට අධික සංඛ්‍යාවකට හදිසි සහන සැලසීමේ මෙම ප්‍රයත්නයට අප හා එක්වීම පිළිබඳ MAS, Hemas, අපගේ ව්‍යාපෘති ක්‍රියාත්මක සහකරු සර්වෝදය සහ විගණන සහකරු PwC වෙත අප කෘතඥතාව පළ කර සිටිනවා. මිලියන 17කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වසනීය ඩිජිටල් සහකරු හා සමාජීය වගකීම් සහිත ආයතනික පුරවැසියෙකු ලෙස අපගේ දැඩි ලෙස පීඩාවට පත්වූ ප්‍රජාවන්ට ඇති බලපෑම ලිහිල් කිරීම සඳහා, විශේෂයෙන්ම උපකාර අවැසිම මොහොතේදී වසර ගණනාවක් පුරා අප විසින් අඛන්ඩව සිදුකර ඇති පරිදි ඉක්මන් පියවරක් ගත යුතු බව අප හඳුනාගෙන තිබෙනවා. අවශ්‍යතා සහිත ප්‍රජාවන්ට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින පාර්ශ්වයන් මෙම ප්‍රයත්නයට අප හා එක්වන ලෙස ශ්‍රී ලංකාවේ ආයතනයන්ට ආරාධනා කර සිටිනවා.’ යනුවෙන් සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ MAS Holdingsහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා ‘MAS යනු සිය සමාජ හෘදසාක්ෂිය සඳහා ප්‍රකට ආයතනයක් වන අතර මෙවැනි අවස්ථාවලදී MAS හි මූලික හරයන්ගෙන් එකක් වන ‘ප්‍රජාවට හා අපගේ නිවහන වන රටට පෙරළා යුතුකම් ඉටුකිරීම’ මත ක්‍රියාකිරීමට හැකිවීම අපගේ වරප්‍රසාදයකි. මීට පෙර අවස්ථාවන් ගණනාවකදී සර්වෝදය සමඟ කටයුතු කළ අපට, මෙම පීඩාවට පත් ප්‍රජාවන්ට සැලකිය යුතු වෙනසක් කිරීමේ ධාරිතාවක් හා හැකියාවක් යමෙකුට ඇත්නම් ඒ ඔවුන් බව අවබෝධ වී තිබෙනවා. සිය දර්ශනය හා දීප ව්‍යාප්ත සම්පත් ජාලය සමඟ සර්වෝදය පූර්ණ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීමේ හවුල්කරුවා වේ. මේ මොහොතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව හඳුනාගෙන මෙම වැඩසටහන හරහා එකට එකතු වී, මිනිසුන්ට ඔවුන්ගේ අසීරුසහගත අවශ්‍යතා සහිත කාලය තුළ උපකාර කිරීමේ අවස්ථාවන් සොයාගැනීමට ශ්‍රී ලංකාවේ අනෙකුත් ආයතන ද අප හා එක්වීමට පෙළඹෙනු ඇතැයි මා අවංකවම බලාපොරොත්තු වනවා. මෙය අපේ ජාතියයි, අපේ ජනතාව හා අපගේ සාමූහික වගකීමයි’ යැයි පැවැසීය.

Hemas Holdings PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය අදහස් දක්වමින් ‘ශ්‍රී ලාංකිීය ආයතනයක් ලෙස රටපුරා සිටින අපගේ ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම අපගේ වගකීමකි. අපගේ අරමුණ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකිරීම, අසමානතාවය තුරන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර මෙම හවුල්කාරිත්වය අපගේ වත්මන් උත්සාහයන් සමඟ පෙලගැසී තිබෙනවා. ඉදිරි මාසවලදී අප හවුල්කරුවන් සමඟ දිගටම කටයුතු කරන අතර අපගේ ප්‍රජාවන්ගේ හා අපගේ සේවකයින්ගේ ජීවන බර ලිහිල් කිරීමේ කටයුත්තට මැදිහත්වී ක්‍රියා කරනවා’ යනුවෙන් පැවැසුවාය.

මෙම මූලාරම්භය පිළිබඳ සිය අදහස් දැක්වූ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ‘රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉතා දැඩි ලෙස පීඩාවට පත් පවුල්වලට හදිසි සහන සැලසීමේ මෙම මානුශීය මූලාරම්භය දියත් කිරීමට   ඩයලොග්, MAS සහ Hemas වැනි ඉහළ මට්ටමේ සමාගම් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳ අප සතුටට පත්වනවා. අපි සංඛ්‍යා, සාක්ෂි මත පදනම්ව විද්‍යාත්මක නිර්ණායකයක් හරහා ප්‍රතිලාභීන් හඳුනාගන්නා අතර දිස්ත්‍රික්ක 25ම ආවරණය කිරීම අපගේ අරමුණයි. ආහාර සුරක්ෂිතභාවය භයානක ලෙස ගිලිහී යන අවස්ථාවක මෙම පවුල්වලට සහන ලබා දීමෙන් ඔබ්බට පියවරක් තබමින්ගෙවතු වගාව වැනි තිරසාර විසඳුම් ලබාදීමටද සැලසුම් කරමින් සිටිනවා. සාමූහිකව මෙරට අපේම සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමට හැකිවන පරිදි මෙම ප්‍රයත්නය හා සම්බන්ධ වන ලෙස අනෙකුත් ආයතනවලටද මම ආරාධනා කර සිටිනවා’ යනුවෙන් සඳහන් කළේය.

ඵලදායී ආර්ථික ප්‍රකෘතිමත් සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන තෙක් මනුදම් මෙහෙවර වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක කෙරේ. 

ඡායාරූපයේ වමේ සිට දකුණට - PwC Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සුජීව මුදලිගේ, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න, ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, හේමාස් හෝල්ඩිංග්ස් පී.එල්.සී හී  සමූහ ප්‍රධාන විධායක නිලධාරී, කස්තුරි චෙල්ලරාජා විල්සන්,  MAS Holdings පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු
 

ඡායාරූපයේ වමේ සිට - ස්වාධීන රූපවාහිනී ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ) රවී සිරිවර්ධන, Voice of Asia Network හි ප්‍රධාන විධායක නිලධාරී අජාස් ෂෆීක්, PwC Sri Lanka ප්‍රධාන විධායක නිලධාරී සුජීව මුදලිගේ, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න, ඩයලොග් ආසිආටා පී.එල්.සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, හේමාස් හෝල්ඩිංග්ස් පී.එල්.සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් සහ MAS Holdings පුද්ගලික සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, EAP Network පුද්ගලික සමාගමේ නාලිකා ප්‍රධානී රංගන ද සිල්වා, Power House පුද්ගලික සමාගමේ සමූහ අලෙවි අධ්‍යක්ෂක තුෂාර පෙරේරා