Friday, March 29, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමග බැංකු රක්ෂණ හවුල්කාරීත්වයකට අත්සන් තබයි




ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, ලොව බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමග බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී තිබේ. මෙය යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. 

මෙම හවුල්කාරීත්වය යටතේ යූනියන් ඇෂුවරන්ස් සමාගම, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගනුදෙනුකරුවන් වෙත ඉහළම තලයේ රක්ෂණ විසඳුම් පිරිනමනු ඇත. ඉතුරුම්, රැකවරණය හා ආයෝජන යන ප්‍රධාන අවශ්‍යතාවන් ආවරණය වන පරිදි යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙම රක්ෂණ විසඳුම් හඳුන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, රටේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ සම්පාදකයා ලෙස යූනියන් ඇෂුවරන්ස් සමාගම සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමේ අරමුණින් මෙබඳු හවුල්කාරීත්වයන්ට එළඹීමට සමාගම කටයුතු කරන බවයි.

“මෙය ‘ශ්‍රී ලාංකික සිහිනය’ සවිබල ගැන්වීම සඳහා අප දරන උත්සාහයේ කොටසක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. අපගේ ප්‍රතිඥාව වන්නේ ගනුදෙනුකරුවන්ට ඉහළම වටිනාමක් හිමිවන සේවාවන් පිරිනැමීමයි. මෙමගින් ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතියටත් සුවිශේෂී දායකත්වයක් ලැබෙනවා.”  ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

“ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් වැනි ගෝලීය බැංකුවක් සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. ඒ ඔස්සේ ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත අපගේ රක්ෂණ සේවාවන් සමීප කරවීමට අපට අවස්ථාව ලැබෙනවා,” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ සේවා නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය පැවසුවා ය.

මෙම හවුල්කාරීත්වයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් පාරිභෝගික, පෞද්ගලික හා ව්‍යාපාරික බැංකුකරණ ප්‍රධානී අරෝෂණ ප්‍රනාන්දු මහතා පැවසුවේ, ‘Here for good’ යන සන්නාම ප්‍රතිඥාවට අනුකූලව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මූල්‍ය විසඳුම් පිරිනැමීමට බැංකුව සෑම විටම පියවර ගන්නා බවයි. 

“යූනියන් ඇෂුවරන්ස් සමග ඇතිකරගත් හවුල්කාරීත්වය නිසා, අපගේ ගනුදෙනුකරුවන්ට දීර්ඝකාලීන රැකවරණ සැලසුමක ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙය මූල්‍ය වශයෙන් සුරක්ෂිත අනාගතයකට මගපෙන්වන ආයෝජන විසඳුමක්ද වීමයි. අද දවසේ අප කවුරුත් එවැනි සුරක්ෂිත අනාගතයක් පිළිබඳව උනන්දුවක් දක්වනවා. ඒ නිසා යූනියන් ඇෂුවරන්ස් සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ යහපත වෙනුවෙන් ගන්නා ලද කාලෝචිත පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා.” අරෝෂණ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය.

මෙම හවුල්කාරීත්වයත් සමග ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගනුදෙනුකරුවන්ට, තම බැංකු සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා අතරම, මෙරට බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන යූනියන් ඇෂුවරන්ස් වෙතින් රක්ෂණ විසඳුම් මිලදී ගැනීමටද අවස්ථාව හිමි වේ.

නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම  සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදීම නිසා, මෙරට ප්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සම්පාදකයා බවට පත්වීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබී ඇත. මූලික වශයෙන් ජීවිත රක්ෂණ පිරිනැමීමට අමතරව මෙම හවුල්කාරීත්වය යටතේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගනුදෙනුකරුවන්ට විශේෂඥ උපදෙස් සමගින් තවත් විසඳුම් හා සේවාවන් රාශියක් පිරිනැමීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.

 

ඡායාරූපය:

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් පාරිභෝගික, පෞද්ගලික හා ව්‍යාපාරික බැංකුකරණ ප්‍රධානී අරෝෂණ ප්‍රනාන්දු මහතා සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ සේවා නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය අදාළ ගිවිසුමට අත්සන් තබමින්