Thursday, April 25, 2024

General line - 0115112241

මුෂ්ෆිකර් සහ දාස් බංග්ලාදේශය අවමානයෙන් ගලවා ගනී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුළු 05 ලකුණු 24ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන් අනතුරුව පිටියේ එක් වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් 06වන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 253ක සබඳතාවක් ගොඩ නැගුවේ බංග්ලාදේශ ඉනිමට යළි ජීවය ගෙන දෙමින්. 

දිනය නිමා වනවිට ලිටන් දාස් නොදැවී ලකුණු 135ක් රැදස්කර ගෙන සිටියා. පන්දු 221කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 115ක් රැස් කළේ යතරේ පහර 13ක් ද සමඟයි. පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 43කට කඩුළු 03ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු ලකුණු 80කට කඩුළු දෙකක් දවා ගත්තා. 

මේ අතර මෙම තරගය අතරතුර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රෝහල් ගත කෙරුණා. ඔහු මේ වනවිට ඩකා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

කුසල් මෙන්ඩිස් හදිසියේ පිටියෙන් ඉවත් වුණේ ඔහුගේ පපුව ප්‍රදේශයේ ඇති වූ වේදනා තත්ත්වයක් හේතුවෙන්. සිදුකළ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එය මාංශ පේශී කැක්කුමක් බවට සැක කරන බවයි.