Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය සහල් අපනයන තහනම් කතාවෙන් බාස්මතී සහලට හොද කලක්




දේශීය උද්ධමනය පාලනය කිරීම සඳහා ඉන්දියාව ඇතැම් භාණ්ඩ අපනයනය තහනම් කිරීමට යන බවට අදෘෂ්‍යමාන ආරංචි පැතිර යාමත් සමඟ ඉන්දීය සහල් සඳහා මැදපෙරදිගින් විශාල ඉල්ලුමක් හටගෙන ඇති බව වාර්තාවනවා.

ඒ  අනුව ඇරොමැටික (සුවඳැති ) දිගු බාස්මතී සහල් කඩිනමින් නැව් ගත කරන ලෙස මැදපෙරදිග ගැණුම්කරුවන්ගෙන් ඉන්දීය සහල් අපනයනකරුවන්ට ඉල්ලීම් ලැබී ඇති බව වෙළඳ ආරංචි මාර්ග පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

හර්යානා ප්‍රාන්තයෙහි බාස්මතී සහල් අපනයනකරුවකු වන ගෞතම් මිග්ලානි පවසන්නේ  ඉන්දීය සහල් සඳහා හදිසියේ මැදපෙරදිගින් විශාල ඉල්ලුමක් හටගෙන ඇති බවයි.

තිරිඟු අපනයනය තහනම් කිරීමෙන් පසු රජය බාස්මතී සහල් සඳහා අපනයන තහනමක් පැනවීමට ඉඩ ඇතැයි කටකතා පැතිර යාමත් සමඟ ගැණුම්කරුවන් නැව්ගත කිරීම සඳහා අපනයනකරුවන්ට මුදල් ගෙවීම් ද සිදු කර ඇතැයි ඔහු අනාවරණය කරනවා.

රුසියා යුක්‍රේන යුද්ධය මධ්‍යයේ ගෝලීය සැපයුම් පිළිබඳ මතුව ඇති කණස්සල්ල හේතුවෙන් ඉහළ යන ධාන්‍ය මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව මේ මස මුල දී තිරිඟු අපනයනයට සීමා පැනවුවා.

කෙසේවෙතත් ඉන්දියාව සහල් අපනයනය තහනම් කරන බවට මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නැහැ.