Wednesday, April 24, 2024

General line - 0115112241

ගොවිතැන් වියදම ඉහළට - ගොවීන් වගා කිරීමේ අර්බුදයක




ගොවිතැන් සඳහා වැය වන පිරිවැය මේ වන විට අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ගොවීන් දැඩි අර්බුදයකට මුහුණපා සිටිනවා. ගොවීන් පවසන්නේ තමන්ට ඩීසල් ලබාදීමේදී කිසියම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. මේ, අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක.

මේ වන විට අක්කරයක් වගා කිරීම සඳහා වැයවන මුදල දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බව නෙත් නිවුස් කළ විමසීමකදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද පැවසුවා.

යල කන්නයේ වගා කිරීම අඩු මට්ටමක පවතින බවත්, වගා කර ඇති භූමි ප්‍රමාණයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අස්වැන්න ද අඩුවිය හැකි බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

යල කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන සඳහන් කළේ මෙතෙක් වගා කර නොමැති කුඹුරු කඩිනමින් වගා කරවීම සඳහා මේ වන විට ඒකාබද්ධ වැඩපිලිවෙලක් සකස් කරමින් ඇති බවයි.

ගොවීන් මෙලෙස සිය වගා කටයුතු සම්බන්ධයෙන් අර්බුදයකට පත්ව ඇත්තේ අගෝස්තු මාසයෙන් පසු රට තුළ ආහාර අර්බුදයක් ද මතුවිය හැකි බවට දැනටමත් අනතුරු අඟවා ඇති පසුබිමකයි. ඩීසල් අර්බුදය හේතුවෙන් එළවළු වගාවට ද මේ වන විට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. ආර්ථික මධ්‍යස්ථාන වෙතච ලැබෙන එළවළු තොග අඩුවීමත් සමඟ එළවළු සිල්ලර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.