Thursday, April 25, 2024

General line - 0115112241

21 වෙනි සංශෝධනය ගැන නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැනුම් දෙයි




සමගි ජනබලවේගය විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර  ඇති  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සම්මත කර ගන්නේ නම් එය  ජනමතවිචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. 

ඒ, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සහ 22 යන සංශෝධන අඩංගු පෞද්ගලික යෝජනාවල අන්තර්ගත ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

එම පෙත්සම් ගොණුකර තිබුණේ දේශප්‍රේමි ජාතික පෙරමුණ වෙනුවෙන් එහි මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව, ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය ගුණදාස අමරසේකර, කර්නල් අනිල් අමරසේකර ඇතුළු පිරිසක් විසින්.
එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනා.

නීතිපතිවරයාගේ එම උපදෙස් කතානායකවරයාට ද දැනුම් දී ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුනි ද සිල්වා අධිකරණයට දැනුම්දුන්නේ.

නඩු විභාගය අතරවාරයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සදහන් කලේ ජනාධිපතිධූරයේ බලතල අඩු කිරිම සඳහා පුද්ගලික මන්ත්‍රිවරයකුගේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයට ඇතුල් කර තිබු 22 වන සංශෝධනය ඉල්ලා අස් කර ගන්නා බව  අමාත්‍ය  විජයදාස රාජපක්ෂ විසින් කතානායකවරයාට දන්වා ඇති බවද සඳහන් කළා.