Thursday, March 28, 2024

General line - 0115112241

අවසන් තරඟය දිනූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් කහ ඇදුමෙන් ආ ශ්‍රී ලාංකිකයන්ට ආචාර




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති 05 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 04 ක තියුණු ජයක් අත්කර ගත්තා. ඒ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිගින් දිගටම ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එල්ල කළ දැඩි පීඩනය හමුවෙයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 160 ක් පමණයි. 

ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 08 ක් පන්දුවාර 24 ක් තුළ ලකුණු 85 කට බිඳ වැටුනා. නමුත් පිටියේ එක්වන නවක ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන් සමග එක්ව චාමික කරුණාරත්න 09 වන කඩුල්ල සඳහා ලකුණු 58 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්වුණා. එය සටහන් වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදනෙකු 09 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ දෙවන ඉහළම ලකුණු සබඳතාව ලෙසයි. සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ චාමික කරුණාරත්න පන්දු 75 කදී 6 යේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 75 ක්. ප්‍රමෝද් මදුෂාන් ලකුණු 15 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 39 යි පන්දු 3ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 164 ක් රැස්කර ගනිමින් තරගය ජය ගත්තා. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ මෙම තරගාවලිය නිමා කළේ 3 ට 2 ක් ලෙස තරගාවලි ජය අත්කර ගනිමින්.

තරගයේ වීරයා සම්මානය චාමික කරුණාරත්නට හිමි වුණා. එක්දින තරග 05 තුලදී ලකුණු 249ක් රැස් කර ගනිමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ කුසල් මෙන්ඩිස් මෙලෙස අදහස් පල කළා.

ඊයේ පැවති තරඟය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ටද කුසල් මෙන්ඩිස් ස්තූතියි කිරීමටද අමතක කළේ නැහැ.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීම සඳහා එරට ක්‍රිකට් ඇදුමේ පැහැය වන කහ පැහැයෙන් සැරසී තරඟය නැරඹීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන්ම පැමිණ තිබුණා. ඒ, ඩොලර් අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාවට සහය වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැක්වූ දායකත්වය හේතුවෙන්. 

එලෙස කහ පැහැති වර්ණයෙන් ඊයේ පැවති තරඟය නැරඹීමට ආ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකකයන්ට ස්තූතිය පුද කිරීමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් අමතක කළේ නැහැ. තරඟය අවසානයේ පිටියට පිවිසි ඔවුන් ක්‍රීඩාංගනය වටා යමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට සිය ස්තූතිය පුද කළා.