Friday, April 19, 2024

General line - 0115112241

රුසියාවේ රන්වලටත් තහනමක්




රුසියාවෙන් සිදුකරන රන් ආනයනය තහනම් කිරීමට රටවල් කිහිපයක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාවේ රන්වලට එලෙස තහනමක් පැනවීමට සූදානම් වන්නේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ජපානයයි.  
 
යුක්රේන යුද්ධයට අරමුදල් සපයා ගැනීමට ඇති හැකියාවට බාධා එල්ල කිරීමේ අරමුණින් මෙලෙස රුසියාවෙන් සිදුකරන රන් ආනයනය තහනම් කිරීමට තීරණය කළ බවයි එම රටවල් පෙන්වා දෙන්නේ.  
 
මෙම ක්‍රියාවලිය හරහා රුසියාවේ යුද යන්ත්‍රයේ හදවතට පහර දිය හැකි බව ද බ්‍රිතාන්‍යය සඳහන් කර තිබෙනවා. 2021 වසරේදී පමණක් රන් අපනයනයෙන් රුසියාව ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6 ක්.  

යුක්රේන ආක්‍රමණයෙන් පසු රටවල් පැනවූ සම්බාධක හමුවේ රන් ආදායම රුසියාවට වඩා වැදගත් බව ද බ්‍රිතාන්‍යය පෙන්වා දෙනවා.
 
කෙසේවෙතත් රුසියාවෙන් සිදුකරන රන් ආනයනය තහනම් කිරීමට අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ජපානයේ අවධානය යොමු වුණේ ජී 7 කණ්ඩායම ජර්මනියේදී හමුවූ අවස්ථාවේදීයි.
 
ඒ අනුව ජී 7 කණ්ඩායමට අයත් ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය ද රුසියාවේ රන් ආනයනය තහනම් කිරීමට ගත් තීරණය සඳහා සහය පළ කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අපේක්ෂා කරනවා.