Saturday, April 20, 2024

General line - 0115112241

රහසිගත සටන් පුහුණු පිළිබද අනාවරණකින් පසු පාකිස්තාන ඉරාන සබඳතා නරක අතට




දේශසීමා හරහා ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දෙන බවට නැගෙන චෝදනා ඉහළයාම  හේතුවෙන් පාකිස්තානය සහ ඉරානය අතර සබදතා උණුසුම් වී ඇතැයි වාර්තාවනවා.

රටවල් දෙක මේ සම්බන්ධයෙන්,  දිගු කලක් තිස්සේ එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින අතර මේ වන විට එසේ චෝදනා නැගීම වර්ධනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්තානයේ සින්ද් පළාතේ ස්ථාපිත සටන්කාමී සංවිධානයක් වන සින්ධුදේශ් රිපබ්ලිකන් හමුදාවේ සාමාජිකයින් ඉරානය විසින් පුහුණු කර ඇති බව පවසමින් පාකිස්තානය මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසු මේ මස මුලදී ඉරානය පාකිස්තාන සරණාගතයින් 107 දෙනෙකු පිටුවහල් කරනු ලැබුවා.

එම සංවිධානය විසින් කරච්චියේදී අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයින් සද්ධාර බසාර් ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි පැවසුණේ.

කරච්චියේ මෞරිපූර් ප්‍රදේශයේ ඇති වූ ගැටුමක දීද පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරැණු අතර ඊට ද ඉරානයේ පුහුණුව ලැබූ පිරිසක් සම්බන්ධ බව අනාවරණය වී තිබුණා.

පකිස්තානයේ ඉස්ලාමාබාද් හි ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවට අනුව, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අල්ලා ඩිනෝ  සහ නවාබ් අලි යන පුද්ගලයන් දෙදෙනා ඉරානයේ පුහුණුව ලැබූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයන් බව සදහන්.

සින්ධුදේශ් රිපබ්ලිකන් හමුදාවේ හි ප්‍රධානී අස්ගර් අලිට ඉරානය ආරක්ෂිත තෝතැන්නක් වී ඇති  බවට ද පාකිස්තානය චෝදනා කරනවා.