Friday, March 29, 2024

General line - 0115112241

දැනට ඇති මුදල් භාවිතා කර කඩිනමින් ඉන්ධන ආනයනයට පියවර ගන්න - ජනපති




ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. 

එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ.

දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිතුමා අතර අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා. 

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණය කෙරුණා.

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුවා.

මහ බැංකු අධිපතිවරයා හා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මුල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය ඉන්ධන සැපයුම් නියෝජිතයෝ පෙන්වා දුන්නා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, බලශක්ති ආයතන සහ රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රධානින් මේ අවස්ථාවට එක්ව සිටියා.