ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දු, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතුවූ බව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද ප්‍රකාශ කළා.

විශ්‍රාම යාමට නියමිත අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද පැවැති චාරිතානුකූල සමුදීමේ උත්සවය අමතමින් ඇය මේ බව කියා සිටියා.

එහිදී අදහස් පළ කළ අගවිනිසුරුවරිය, තමන් මීට වසර 45කට පමණ පෙර නීති ශිෂ්‍යාවක් ලෙස අලුත්කඩේ ප්‍රදේශයට පැමිණි බවත් ඉන් පසුව නීතිඥ සංගමයේ සාමාජිකාවක බවට පත්වී අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක මෙන්ම අග්‍ර විනිශ්චකාර ධුරයටද පත්වීමට හැකි වූ බව සඳහන් කළා.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ 48වන අග විනිසුරුවරිය ලෙස පත්වීමට තමාට හැකි වූ බව පෙන්වා දුන් අගවිනිසුරුවරිය අග විනිසුරුවරයෙකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවන බවයි අවධාරණය කළේ.

විනිසුරුවරු අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් එම සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් බවත් ඇය සඳහන් කළා.

මෙම සම්මතයන් ආරක්ෂා කිරීමට සියලු අධිකරණවල විනිසුරුවරු බැඳී සිටින බවද අගවිනිසුරුවරිය කියා සිටියා.

මේ වන විට තරුණ තරුණියන් විශාල පිරිසක් නීති ක්ෂේත්‍රයට පිවිසෙන බවත් ඔවුන් විවිධ ගැටලුවලට මුහුණ පාන බවත් ඔවුන් නීතියේ ආචාර ධර්ම හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළා.

අධිකරණයේ ස්වාධීනත්වය සහ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා විනිසුරු මණ්ඩලයේ මෙන්ම නීතිඥ මණ්ඩලය ද අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු යුතුයි.

එම දෙපාර්ශවයේ සහයෝගය තමන්ට ලැබුණු බවයි අගවිනිසුරුවරිය පැවසුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ද ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් ප්‍රධාන නඩු තීන්දුවලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් වී ඇති බවත් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

ඊට තමන්ද කොටස්කාරියක වීම ගැන ආඩම්බරයට පත්වන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.