“ඔර්නබ්” ඉතා ප්‍රබල සුළු කුණාටුව ආන්ද්‍රා ප්‍රදේශ් සහ යානාම් වෙරළ තීරය හරහා ඉන්දියාවට කඩා වැදීමෙන් පසු විශාල හානියක් සිදුව තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව, සුළි කුනාටුව නිසා ඇති වූ ආපදාවලින් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බවයි ප්‍රධාන අමාත්‍ය එන්. චන්ද්‍රබාබු නායිදු කියා සිටියේ.

මියගිය අයගේ පවුල් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඊයේ අලුයම නාර්සාපූර් ප්‍රදේශයට කිලෝමීටර් 20 ක් පමණ නැගෙනහිරට බරව ගොඩබිමට පිවිසි මෙම සුළි සුළඟ, මේ වන විට ක්‍රමයෙන් බලපෑම අඩු වෙමින් පවතින බවයි.

සුළි සුළඟත් සමඟ ඇති වූ තද සුළං සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගස් හා විදුලි කණු ඇදවැටී, මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

උතුරු සහ මධ්‍යම ආන්ද්‍රා ප්‍රදේශ්හි විදුලි සබඳතා ලක්ෂ 25 කට වැඩි ප්‍රමාණයක් ඇණහිට තිබෙන බවයි ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

විශාකාපට්නම් ගුවන්තොටුපොළේ ගුවන් වාර 38 ක් සහ විජයවාඩාහි ගුවන් වාර 17 ක් අවලංගු කිරීමටද පියවර ගෙන තිබෙනවා.

හදිසි ආපදා සහන කඳවුරු වෙත පුද්ගලයන් 57,000 ක් පමණ ආරක්ෂිතව යොමු කිරීමට ජාතික ආපදා ප්‍රතිචාර බලකාය කටයුතු කර ඇතැයි ද, ද හින්දු ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන්.

එමෙන්ම කුඹුරු හෙක්ටයාර් 70,000 වැඩි ප්‍රමාණයක්, වෙනත් ගොවිතැන් හා උද්‍යාන වගා හෙක්ටයාර් 10,000 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.