දින 13 පුරා ඉරානයට එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාව තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

දෙපාර්ශ්වය අතර ගැටුම් තවදුරටත් දුරදිග යාම වළක්වා ගනිමින් සාමකාමී විසඳුමකට එළඹීම සඳහා රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් වේගවත් කිරීමේ අදහසින් මෙම පියවර ගත් බවයි ඇමෙරිකාව පවසන්නේ.

​මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඉරානය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන අතරම, අවශ්‍ය වුවහොත් නැවත හමුදාමය ක්‍රියාමාර්ග ඉදිරියටම ගෙන යාමටද සූදානම් බවයි.

ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් මිල සහ ඇමෙරිකාවේ ද තෙල් මිල ඉහළ ගොස් තිබුණද, අර්බුදය නිසි ලෙස විසඳා ගැනීම තම ප්‍රමුඛතාව බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර ​එළඹෙන සතියේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර වොෂිංටන්හිදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව ද කලාපීය අර්බුදයේ ඉදිරි තීරණ සඳහා තීරණාත්මක වනු ඇති බවයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

එසේ තිබියදී ලෝක තෙල් සැපයුමෙන් සියයට 20 ක් ගමන් කරන උපායමාර්ගික හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර ද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.

දෙරට අතර සාකච්ඡා වට කිහිපයක් සාර්ථකව පැවැත්වුණු බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ.