ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 18 වනදා කැඳවන ලෙස බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
දයාසිරි ජයසේකර මහතා සිය අභියාචනය තුළින් කියා සිටින්නේ, තමන්ට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ ඉල්ලීමක් විභාග කළ කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම අදාළ නඩුවේ අවසානාත්මක නියෝගය හා සම්බන්ධ බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකළ බවයි.
කොළඹ දිසා අධිකරණයේ එම තීරණය අභියෝගයට ලක් කරමින් දයාසිරි ජයසේකර මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කළ අතර තමන්ට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලෙසත් ඊට බාධා පැමිණවීම වළක්වමින් එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙනවා.




