තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා. තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා පැවසුවේ වගකිව යුතු බලධාරින් සමග සාකච්ඡාවකින් තොරව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි.

වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් ඉදිරි දිනවලදී වැඩිහිටි දීමනා ගෙවීම් ආදී සේවාවලට ද බලපෑම් එල්ලවිය හැකි බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. වෘත්තීය සමිති සිදු කරන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් ද නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. පවතින ගැටලු සාකච්ඡා මගින් විසඳා ගැනීම සඳහා පළමුව සේවයට වාර්තා කරන ලෙසයි තැපැල්පතිවරයා සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ.