මන්නාරම යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර අත්පත් කරගෙන ඇති ඉඩම් රජයට පවරා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම ඉඩම්වලට අනවසරයෙන් ඇතුල්වන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.

වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.