විදේශීය විශ්ව විද්‍යාල උපාධිධාරීන් 66 දෙනෙකුට ආභ්‍යාසලාභී පුහුණුව ලබාදිය නොහැකි බවට එවක හිටපු රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛනයක් තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර තිබෙනවා .
ඒ වෙනුවෙන් පෙත්සම්කරුවන්ට රුපියල් 5,000 බැගින් නාමික ගාස්තු ගෙවන ලෙසත් යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් රජයට නියෝග කළා.
විදේශීය උපාධිධාරීන් 66 දෙනෙකු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙතසමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සේවා කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි ,රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ඇතුළු 14 දෙනකු නම් කරනු ලැබ සිටියා.
සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා පෙත්සම් කරුවන් සියලු දෙනා විදේශීය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා උපාධි ලැබූවන් බව සඳහන් කළා.
ඔවුන් ලැබූ සියලුම උපාධි විශ්වවිද්‍යාල කොමිසම විසින් අනුමත කර තිබූ බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
2019 දෙසැම්බර් 31 වැනි දින අභ්‍යාසලාභි උපාධිලාභීන් පුහුණුව සඳහා බදවා ගන්නා බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දුවක් ගනු ලැබූ අතර ඒ යටතේ මෙම පෙත්සංකරුවන්ද අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.
එහෙත් එවක රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විදේශීය උපාධිධාරීන්ට පුහුණුව සැපයීම සඳහා ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් චක්‍රලේඛනය නිකුත් කර තිබූ බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පෙත්සම්කරුවෝ සියලු දෙනාම විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබූවන් බවත් ඔවුන්ගේ උපාධි , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගෙන ඇති බවත් සඳහන් කළ විනිසුරුවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පිළිගනු ලබන උපාධිධාරීන්ට මෙරට රාජ්‍ය සේවයේ තනතුරු සදහා අයදුම් කිරීමට බාධාවක් නොමැති බවත් කියා සිටියා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශය හිටපු ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛනය තුළින් පෙත්සමකරුවන්ට එම අභ්‍යාසලාභී පුහුණුව සඳහා ඇතුළත් වීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
ඒ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළා.
ඒ අනුව හිටපු රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශය ලේකම්වරයා මේ වන විට විශ්‍රාම ගොස් තිබෙන නිසා ඔහුගෙන් ගාස්තු අය කළ නොහැකි බැවින් රුපියල් 5000 බැගින් අයදුම්කරුවකුට ගාස්තු ගෙවන ලෙස රජයට නියෝග කරන බවද තින්දුවේ සඳහන් වෙනවා.
මෙම නඩු තීන්දුවේ අන්තර්ගත කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම සඳහා මෙම නඩු තීන්දුව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියා.
උදයකුමාර




