ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහා නෝර්වේ රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 19 ක් වටිනා ටොයෝටා වර්ගයේ රථයක් එවක විෂය භාර අමාත්‍ය ඒ එච්.එම් ෆවුසි මහතා සිය පුද්ගලික පාවිච්චි කර ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවත් ඒ තුළින් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා

ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෝර්වේ රජය විසින් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරන ලද ටොයොටා වර්ගයේ වාහනයක් සිය පෞද්ගලික පාවිච්චියට ගැනීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරූ අතර ඔහු එම චෝදනාවලට වරද පිළිගත් බවයි.

ඒ අනුව ඔහුට මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවම් හා දඩ නියම කෙරුනු බවත් නීතිඥවරිය පෙන්වා දුන්නා.

හිටපු අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව තුළින් රටට සිදුවූ පාඩුව ගණනය කර එය රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙස හිටපු අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී හිටපු අමාත්‍ය ෆවුසි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි සහනයක් මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අපේක්ෂා කළ නොහැකි බවත් ඒ සඳහා සිවිල් නඩුකරයක් ඉදිරිපත් කර සිදුවූ හානිය අය කර ගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නා.

මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන අල්ලස් කොමිසම සතුව තිබෙන බවත් ඒවා ඉදිරියේදී ගොනු කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අතර නඩුව යළි ජනවාරි මස 23 වන දා කැඳවීමටද නියම කළා.